(යොහාන් භාසුර)

මහරගම නගර සභාවේ වැඩ ලබන ලේකම්වරයාගේ අක්‍රමිකතා සහ දූෂණ ක්‍රියා යැයි සඳහන් කරමින් එම නගර සභාවේ හිටපු උප සභාපති බන්දු ජයසිංහ මහතා ඇතුළු සමාජ ක්‍රියාකාරිකයන් පිරිසක් බස්නාහිර පලාත් ආණ්ඩුකාරවරයාට චෝදනා පත්‍රයක් අද (11) භාරදුන්නේය.

ආණ්ඩුකාරවයාගේ චක්‍රලේඛණ උල්ලංඝනය කිරීම, ප්‍රසම්පාදනය ක්‍රිියාවලිය අයථා ලෙස යොදාගැනීම, වැඩබලන ලේකම් ධූරය අනිසි ලෙස යොදාගැනීම, මූල්‍ය රෙගුලාසි උල්ලංඝණය කිරීම සහ අල්ලස් ගැනීම යන ප්‍රධාන චෝදනා යටතේ අනු චෝදනා 10 ක් එම චෝදනා පත්‍රයේ සඳහන් වේ.

නගර සභාවේ සභාපතිවරයාගේ නිල වාහනය සහ නිල කාමරය වැඩ බලන ලේකම්වරයා පෞද්ගලික පාවිච්චියට ගැනීම, ඔහු වැඩබලන ලේකම්වරයා වුවද ඔහු රාජකාරියේදී වැඩබලන ලේකම්වරයා ලෙස පාවිච්චි නොකිරීම, ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව භාණ්ඩ මිලදී ගැනීම ආදි චෝදනා ඉදිරිපත් වී තිබේ.

අදාල වැඩබලන ලේකම්වරයා කටුනායක - සීදුව නගර සභාවේ රාජකාරි කරමින් සිටියදී ද මේ ආාරයටම දුෂණ චෝදනා එල්ල වීම නිසා පලවා හැර ඇති බව ද එම චෝදනා පත්‍රයේ සඳහන් වේ. මහරගම නගර සභාවේ වැඩබලන ලේකම් අරුණ ඩී. ඩයස් මහතාගෙන් මෙම චෝදනා පත්‍රය පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ එම සියලුම චෝදනා අසත්‍ය චෝදනා බවත් රාජකාරී කිරීමේදී එවැනි චෝදනා පිළිබඳව කිසිඳු තැකීමක් නොකරන බවත්ය.