(ෂේන් සෙනෙවිරත්න)

දැඩි බෑවුම් ප්‍රදේශයක පවතින මහනුවර හෙද විදුහල මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් නාය යාමේ දැඩි අවදානමකට ලක්වී ඇති බැවින් දැනට එහි අධ්‍යයන කටයුතු සම්පූර්ණයෙන් නවතා දමා ඇති බව හෙද විදුහල් බලධාරීහු පවසති.

ශ්‍රී ලංකා රෝහල් පද්ධතියට හෙද හෙදියන් පුහුණු කරනු ලබන ප්‍රධානතම ආයතනයක් වශයෙන් සැලකෙන මෙම හෙද විදුහල මේ ආකාරයෙන් නාය යාමේ තර්ජනයකට ලක් වීම එහි අධ්‍යයන කටයුතුවල නියැලෙන හෙද හෙදියන්ගේ අධ්‍යන කටයුතු ඉදිරියට කරගෙන යාම විශාල ප්‍රශ්නයකට තුඩු දී ඇති බව එහි පාලන අධිකාරිය කියයි.

දැනට දින ගණනාවක් පුරා පවතින අධික වර්ෂාව හේතුවෙන් හෙද විදුහලේ විදුහල්පතිවරයාගේ නිළ නිවස, හෙද පුහුණුව ආදර්ශ කාමරය හා විද්‍යාගාරය වැසිකිළි පද්ධතිය හා ගරාජය මෙන්ම දේශන ශාලාව සහිත ගොඩනැගිල්ල ද මේ හේතුවෙන් දැඩි අවදානමකට ලක්ව පවතින අයුරු දැකගත හැකිය.

හෙද විදුහලේ විශාල කොටසක් නායයාමට ලක්ව විනාශ වී ඇති බවද හෙද විදුහලේ ගුරුවරයෙක් වන අජිත් වර්ණසූරිය මහතා පැවසීය.