(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

රට බංකොලොත්වී දරුවන් කන්න නැතුව සිටිනා  මොහොතක ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්  පිරිසක් විස්කි බිබී මුහුද මැද  පාටියක් දැමීම මහ  මෘග ක්‍රියාවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවසීය.

මෙම පාටිය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද සහභාගිවී ඇතැයි පැවසූ විපක්ෂනායකවරයා දරුවන්ට වාර ප්‍රවේශ පත්‍රය දීමට නොහැකි ආණ්ඩුව මන්ත්‍රීවරුන්ට මුහුද මැද පාටි දැමීමට අවසර දීම අසාධාරණ බවද ප්‍රකාශ කළේය.

ප්‍රේමදාස මහතා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි

සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ඇමතිවරුන් කණ්ඩායමක් වරාය අධිකාරියට අයත් හංසකාවා, දියකොවුලා  ආදි  යාත්‍රා පාවිච්චි කරලා  මුහුද මැද ඉඳලා පාටියක් දාලා තියෙනවා. මේක බොරුවක් නොවේ. දූ දරුවන්ගේ වාර ප්‍රවේශ  පත්‍ර අහෝසි කරනවා.මෙයාල පාටි දානවා. කොහොමද රටට අයිති යාත්‍රා පාවිච්චි කරලා  මුහුද මැද පාටි  දාන්නේ? බංකොලොත් රටක විස්කි ගෙනල්ලා වරාය  ආපනශාලාවේ කෑම ගෙනල්ල පාටි දානවා.බංකොලොත් රටක මෙහෙම පාටි දානවද.පෞද්ගලික මුදල් වලින්  විසි හතර පැයේම  පාටි දැම්මට  කමක් නැහැ. පෞද්ගලික මුදලින් මොනවා කළත් කමක් නෑ. වැලි හාරන යන්ත්‍ර උඩ නැගලා මේ පාටිය දාලා තියෙන්නේ. මේ අය පිළිගන්න රතු කාපට් එකකුත් දාලා තිබුණා. මේක මහ මෘග ක්‍රියාවක්.

මම මේ කතා කරන්නේ රටට වැදගත් දෙයක්. මගේ කට වහන්න එපා. මේ රටේ කුඩා දරුවාගේ ඉඳලා මව්වරුන් දක්වා සියලු දෙනා දුක් විඳිනවා. හිටපු ජනාධිපතිවරයා නැව් දෙකක් අරගෙන මුහුද මැද පාටි දාන්නේ කොහොමද.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා:

කොටින්ට  ආයුධ දුන්නා කියලා චෝදනා එල්ල වුණේ ඔබතුමාගේ තාත්තට. ඔබගේ සහෝදරිය හොර සල්ලි ගහපුවාම බේරගත්තේ හිටපු ජනාධිපතිතුමා.

සජිත් ප්‍රේමදාස මහතා:

කොටින්ට සල්ලි දුන්න එක වෙන කාගෙන්වත් අහන්න එපා.  ටිරාන් අලස් ගෙන් ඒක අහන්න. මගේ සහෝදරිය පවුලේ සාමාජිකයන් හොර සල්ලි අච්චු ගහලා නැහැ.