(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අසනීපව රෝහල් ගතවූ විශ්‍රාමික බැංකු නිලධාරියාගේ ඒ ටි එම් කාඩ්පතින් රුපියල් ලක්ෂ 50 කට ආසන්න මුදලක් වරින් වර හොර රහසේ ලබාගත්   මෙහෙකාරිය ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි.

අත්අඩංගුවට පත් වූවන් අතර මෙහෙකාරියගේ දියණිය සහ බෑණා ද වන බව පොලිසිය කියයි.

තමන් අසනීපව රෝහල්ගතව සිටින අවස්ථාවේදී  ඇති වූ මුදල් අවශ්‍යතාවයට වසර 11ක කාලයක් තම නිවසේ මෙහෙකාරිය ලෙස කටයුතු කළ කාන්තාවට තමන්ගේ ඒ.ටි.එම් කාඩ් පත සහ එහි  රහස් අංකය ලබා දි තම අසනීපයට අවශ්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා මුදල් වියදම් කරන ලෙස  දැනුම් දුන් බවත් එම මෙහෙකාරිය විසින් තමන්ට හොර රහසේ  රුපියල් ලක්ෂ 50 කට ආසන්න මුදලක් වරින්වර ලබාගෙන ඇති බව සුව වී නිවසට පැමිණි පසු  තමන්ට දැනගන්නට ලැබුණු බව විශ්‍රාමික බැංකු නිලධාරියෙකු පැමිණිල්ලක් කළ බව පොලිසිය කියයි

තමන්ගේ බැංකු පොතේ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට අධික මුදලක් තිබුණු බවත් දරු දෙදෙනාට රුපියල් ලක්ෂ 50 බැගින් ලබාදී ඉතිරි මුදල් බැංකු ගත කර තිබූ බවත් පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන බව පොලිස් නිලධාරියකු පැවැසීය.

අදාල පැමිණිල්ල අනුව විමර්ශන පැවැත්වීමේ දී සැකකාරිය මාස හයක 6 ක පමණ කාලයක සිට බැංකු නිලධාරියාගේ ඒ ටි එම් කාඩ්පතින් මුදල් ලබාගන්නා අයුරු  සීසීටීවී කැමරාවක සටහන්ව ඇතැයි පොලිසිය කියයි

අත්අඩංගුවට ගත් මෙහෙකාරිය ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී එම ඒටීඑම් කාඩ් පත තම දියණිය  සහ බෑනා අතට ද පත් කළ බවත් ඔවුන් විසින් රන් ආභරණ මිලදී ගැනීම මෙන්ම නිවසක් කුලියට ගැනීමට එමගින් ලබාගත් මුදල් යෙදවූ බවත්  තම මවගේ නිවස  අලුත් අලුත්වැඩියා කිරීමට එකී මුදල් යොදා ගත් තවත් ඊට අමතරව විනෝද සවාරි  යාමට මෙන්ම ඇඳුම් පැළඳුම් මිලදී ගැනීමට ද  මුදල් යෙදවු බවත් ප්‍රකාශ කල බව සැකකාරියන් සහ සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකාරියන් දෙදෙනා සහ සැකකරු මොරටුව එගොඩ උයන මෝදර පදිංචිකරුවන් ය.