(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ලෝක උරුම ලෙස නම් කිරීම සඳහා මෙරට නව ස්ථාන දහයක් හඳුනාගෙන ඇතැයි පුරාවිද්‍යා නිලධාරීහු රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝපා කමිටුව) පසුගියදා දැනුම් දුන්හ.

මේ අතර ශ්‍රී ලංකාව වටා මුහුදු ප්‍රදේශයේ  පවතින මුහුදු පුරාවස්තු 114 ක් හඳුනාගෙන ඒ පිළිබඳ සියලු තොරතුරු ඇතුළත්  කර වෙබ් අඩවියක් පවත්වාගෙන යන බව පැවසූ එම නිලධාරීහු මුහුදු පුරාවස්තු ගැසට් කිරීම සම්බන්ධයෙන් ගැටලු  පවතින බවද  පෙන්වා දුන්හ.

පුරාවිද්‍යා ස්මාරක 1565 ක ප්‍රමාණයක් වෙබ් අඩවි ඔස්සේ ප්‍රකාශයට පත්කර ඇති බවත් මේ වනවිට ලේඛන ගත කර ඇති පුරාවිද්‍යා ස්මාරක ප්‍රමාණය 5664ක් බවත්  එම නිලධාරීහු පැවසූහ.

එම ස්මාරකවලින් 2773ක් ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති බවද කාරක සභාවේදී සඳහන් විය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්ය සාධනය විමසීම සඳහා එහි ප්‍රධානීහු රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට පසුගියදා කැඳවනු ලැබූහ. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.

කාරක සභාව එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.