(ඩයනා උදයංගනී)

මෙරට ආහාර නිෂ්පාදන 33ක් චීනයට අපනයනය කිරීම සඳහා චීන සමූහාණ්ඩුවේ සාමාන්‍ය රේගු පරිපාලනය විසින් අනුමැතිය ලබා දී ඇතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මින් නිෂ්පාදන 29ක් සාගර ධීවර ජලජ නිෂ්පාදන වන අතර, චීන සමූහාණ්ඩුවේ ලියාපදිංචි ලාංකීය සමාගම් 38ක් එම නිෂ්පාදන අපනයනකරුවන් වශයෙන් කටයුතු කරන බව ද ඇමතිවරයා සඳහන් කළේය.

චීනය වෙත මෙම නිෂ්පාදන අපනයනය කිරීමට අවශ්‍ය සහයෝගය ලබාදීමට සහ දිරිගැන්වීමට හැකි පරිදි එම නිෂ්පාදන පරීක්‍ෂා කිරීම, නිරෝධායනය සහ පශු විද්‍යාත්මක සෞඛ්‍යාරක්‍ෂක අවශ්‍යතා පිළිබඳව වන සන්ධානය, මහජන චීන සමූහාණ්ඩුවේ සාමාන්‍ය රේගු පරිපාලනය සහ ධීවර අමාත්‍යාංශය අතර ගිවිසුමක් අත්සන් තැබීම සඳහා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ඉදිරිපත් කළ යෝජනාවකට ද අනුමැතිය හිමිවූ බව ඇමතිවරයා කීවේය.

ඇමති බන්දුල ගුණවර්ධන මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (3) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.