(සුමිත් පොතුපිටිය සහ තුසිත කුමාර ද සිල්වා)

පානදුර සහ කටුබැද්ද ප්‍රදේශවලදී වෙඩිතබා පුද්ගලයන් තිදෙනකු ඝාතනය කිරීමට සහ මත්කුඩු ජාවාරමක් සදහා යොදාගත් යතුරුපැදි 4 ක් සහ සුඛෝපභෝගී මෝටර් රථ 3 ක් සමග පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි.

මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර සහ අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි 25 ත් 30 ත් අතර වයසේ පසුවන පුද්ගලයන් බව පොලිසිය කීය.

පානදුර නිර්මල මාවතේ යතුරුපැදියකින් ගමන්කළ දෙදරු පියකු වෙඩිතබා ඝාතනය කිරීම, කටුබැද්ද 255 බස් මාර්ගයේ වෑන් රථයක් තුළදී පින්වත්තේ සහ කළුදෑවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනකු වෙඩිතබා ඝාතනය කිරීම සහ කළුතර උතුර පොලිසියේ විවිධ පැමිණිලි අංශ ස්ථානාධිපතිවරයාගේ වැලිපැන්න ප්‍රදේශයේ නිවසට ගිනි අවි රැගෙන පැමිණ කොල්ලකෑමට භාවිතා කළ යතුරුපැදියක්ද ඒ අතර වන බව පොලිසිය කීය.

සැකකරුවන්ගේ නිවෙස්වල තිබී යතුරුපැදි සොයාගෙන ඇති අතර , සුඛෝපභෝගී මෝටර් රථ පානදුර ප්‍රදේශයේ ස්ථාන තුනක සගවා තිබියදී සොයාගෙන ඇතැයිද පොලිසිය කීය.

වාහන තුන තීරුබදු රහිතව කොටස් වශයෙන් ගෙන්වා එකලස් කර ඇති බවත්, ව්‍යාජ අංක තහඩු, ව්‍යාජ ආදායම් බලපත් යොදා පාවිච්චි කර තිබු බවද පොලිසිය කීය.