(නිමන්ති රණසිංහ)

හිටපු ධීවර අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා  නෞකා 08ක් මෙරටට ගෙන්වීම සහ මෝදර ධීවර වරාය බදුදීම පිළිබඳව වන සිද්ධීයට අදාළව ධීවර අමාත්‍යාංශයෙන් ලබාදුන් ලියැකියැවිලි මෙතෙක් තම දෙපාර්තමේන්තුව වෙත ලබා නොදීම හේතුවෙන් එහි විමර්ශන ප්‍රමාදවී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය හමුවේ අද (15) ප්‍රකාශ කළේය.

ඒ අනුව එම ලේඛණ තම දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙසට අල්ලස් කොමිසම වෙත යළිත් නියෝගයක් නිකුත් කරන ලෙසට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

මෙම සිද්ධියට අදාළ ලේඛණ සියල්ල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට අධිකරණය මගින් නියෝගයක් නිකුත් කර තිබුණේ ඉකුත් 2021 වසරේ දෙසැම්බර් මස 22 වැනිදාය.

මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය හමුවේ අද (15) කැදවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කර සිටියේ, මෙහි විමර්ශන සිදුකර කිරිම සදහා අවශ්‍ය ලේඛණ නොමැති වීම හේතුවෙන් මේ වන විට ගැටලුවක් මතුවී ඇති බවය.

හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස කටයුතු කළ දොන් ලලිත් අනුරාධ සෙනෙවිරත්න යන අය නමින් මෙම නැව් 08 චීන සමාගමක් සමඟ ගිවිසුමකින් මෙරටට ගෙන්වා ඇතැයි සදහන් කරමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබුණේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතා විසිනි.

එමෙන්ම, අසාදුලේඛනයේ සදහන් විදෙස් සමාගමකට මෝදර වරාය බදුදී තිබීම සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් අරම්භ කරන ලෙසට පැමිණීල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇතැයි අධිකරණයට කරුණු වාර්තා වී ඇත.