(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

සාහසිකයන් පිරිසක් විසින් නිට්ටඹුවෙදී ඝාතනය කෙරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා වෙනුවෙන් ඔහුගේ පවුලේ සාමාජිකයින්ට රුපියල් කෝටියක වන්දි මුදලක් ගෙවීමට කැබිනට් මණ්ඩලයේ  අනුමැතිය ලැබී ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී  අද (21)  පැවසීය.

ඒ අවස්ථාවේදී ඝාතනය කෙරුණු මන්ත්‍රීවරයයාගේ ආරක්ෂක නිලධාරියා වෙනුවෙන්ද වන්දි මුදල් ගෙවීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරයා  ප්‍රකාශ කළේය.

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා  මෙසේද පැවසීය.

මිනී මැරෙනකොට සමහරුන්ට හිනාවෙන්න පුළුවන්. ඒ වගේම  මිනී මැරෙනකොට අඬන පිරිස වැඩියි කියලා මතක තියාගන්න. ඝාතනය කෙරුණු මන්ත්‍රීතුමාට  කෝටියක වන්දියක් දෙන්න  කැබිනට් මණ්ඩලය තීරණය කළේ ඒ නිසයි. මේ තීරණය ගත්තේ පසුගිය සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේදී.

මන්ත්‍රීවරුන්ගේ ජීවිත ආරක්ෂා කරනවා වගේම රාජ්‍ය සේවකයන් ජීවිත පූජා කරනවා නම් ඔවුනටද සහන දෙන්න ඕන. අපි එතෙන්ට එන්න ඕන. තිබුණ  නීති අපි අවම වශයෙන් වෙනස් කරලා තියෙනවා.