(විමුක්ති එස් රුද්‍රිගු)

මෙම වසරේ ලෝකයේ මධුසමය ගත කිරීමට හොඳම ස්ථාන 25 අතර ස්ථාන තුනක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී ඇත. ට්‍රිප් ඇඩ්වයිසර් වෙබ් අඩවිය සිදුකළ එම ශ්‍රේණිගත කිරීමේ පිළිවෙළින් පස්වැනි ස්ථානය ගාල්ලටත්, 13 වැනි ස්ථානය ඇල්ලටත්, 22 වැනි ස්ථානය තංගල්ලටත් හිමිවිය.

ශ්‍රී ලංකාවේ නිරිතදිග වෙරළ තීරයේ පිහිටා ඇති ගාල්ල ඓතිහාසික නගරයක් බවත් යටත්විජිතයක් ලෙස පැවැති කාලයේ මතක තවමත් එහි තිබෙන බවත් ට්‍රිප් ඇඩ්වයිසර් වෙබ් අඩවිය ප්‍රකාශ කළේය. 16 වැනි සියවසේ ඉදිකළ පෘතුගීසින් ඉදිකිරිම ආරම්භ කළ බළකොටුවක්ද එහි තිබෙන බව එම වෙබ් අඩවිය පෙන්වා දුන්නේය. එහි බොහෝ ගොඩනැගිලි ලන්දේසි ශෛල්‍යයේ ඒවා බවද එම වෙබ් අඩවිය ප්‍රකාශ කළේය. ගාලු නගරයේ සංචාරය කරන්නෙකුට අද්විතීය අත්දැකීමක් ලබාගත හැකි බවද ට්‍රිප් ඇඩ්වයිසර් වෙබ් අඩවිය පැවැසුවේය.

තංගල්ල ශ්‍රී ලංකවේ තිබෙන මැණිකක් බවත් බොහෝ සංචාරකයන් තංගල්ල පිළිබඳව අසා නොමැති බවත් එම වෙබ් අඩවිය ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ තිබෙන හොඳම වෙරළ තීරයන් තිබෙන්නේද තංගල්ල නගරයේ බව ට්‍රිප් ඇඩ්වයිසර් වෙබ් අඩවිය පැවැසුවේය.

ඇල්ල සංචාරකයන්ව කඳුකර වනාන්තර, තේ වතු සහ සිසිල් දේශගුණයකට රැගෙන යන බවත් වනජීවීන්ගෙන් පොහොසත් මෙම කලාපය ගුහා, කඳු පන්ති වලින්ද සමන්විත බවත් එම වෙබ් අඩවිය ප්‍රකාශ කළේය

එම ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය ඉන්දුනීසියාවේ බාලි දුපත්වලට හිමිව ඇති අතර දෙවන ස්ථානය මොරීෂියස් වෙත හිමිව ඇත. එසේම ශ්‍රේණිගත කිරීමේ තෙවැනි ස්ථානය මාලදිවයිනට හිමිවිය. එහි අවසන් ස්ථානය හිමිව ඇත්තේ ග්‍රීසියේ පේරෝස් දුපතටය.