
(විමුක්ති එස් රුද්‍රිගු සහ ලහිරු හර්ෂණ)
ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ අත් අඩංගුවට ගත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා නඩුව වෙනත් අධිකරණයකට මාරු කරන ලෙස ඉල්ලීමක් කළේය.
පසුගිය නොවැම්බර් මස 17-22 අතර කාලයේ සිදුවුණු සිදුවීමක් සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් හතර දෙනකු කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශ හතරක් ඉදිරිපත් කර තිබෙන බවත් ඒ සම්බන්ධව අද (17) සහ හෙට (18) දෙදින ඇතුළත අධිකරණ සේවා කොමිෂන් සභාවට විධිමත් පරීක්ෂණයක් සිදු කිරීම සඳහා පැමිණිල්ලක් සිදුකරන බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා පැවසුවේය.
එය පොලිස්පතිවරයා නීතිපතිවරයාට දැනුම් දී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කියා සිටියේ නඩුව වෙනත් අධිකරණයකට මාරු කිරීමට අවශ්‍ය නම් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 46 වෙනි වගන්තිය යටතේ අභියාචනාධිකරණයටත් 47 වෙනි වගන්තිය යටතේ නීතිපතිවරයාටත් ඒ පිළිබඳ ක්‍රියා මාර්ග ගැනීමට හැකියාව තිබෙන බවය.අධිකරණ සේවා කොමිෂන් සභාවට එම දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කර පැමිණිලි නොකර එම දිවුරුම් ප්‍රකාශ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ළඟ තබා ගනිමින් මෙසේ අධිකරණය මාරු කිරීමට ඉල්ලීමක් කිරීම සදාචාරාත්මක නොවන බවද ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ප්‍රකාශ කළේය.
මේ පිළිබඳ ප්‍රකාශයක් කරමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය පවසා සිටියේ සැකකරුවන් කිසිම කෙනෙක් අධිකරණය නොදන්නා බවත් ඇඳුනුම් කමක් නොමැති බවත්ය.විමර්ශන ඉක්මණින් අවසන් කිරීමට කටයුතු කරන ලෙස තමන් හැමවිටම උපදෙස් දුන් බවත් සායන කාඩ්පත අතැතිව සිටි රෝගී සිරිධම්ම හිමිට ස්වාමින් වහන්සේ නමක් වීම හේතුවෙන් සද්භාවයෙන් තමන් විමර්ශන නිලධාරීන් දැනුවත්ව සස්ටජන් කිරිපිටි එකක් සහ සිංහල ඖෂධ පැකට් කිහිපයක් ලබා දුන් බවත් මහෙස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය පැවැසුවාය.
ඉන් අනතුරව නොම්බර 1 ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත නඩුව මාරු කළ අතර එහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ලබන 31 වැනිදා තෙක් වසන්ත මුදලිගේ මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
එදිනට ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත් කරන බවද ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා පැවසුවේය.
එම ඇප ඉල්ලීමට අදාළ ලිඛිත දේශන තිබේනම් ඒවා ලබන 24 වැනිදාට පෙර ගොනුකරන ලෙසද ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළේය.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.