(ඉන්දිකා රාමනායක)

හිටපු නියෝජ්‍ය අමාත්‍ය  නිශාන්ත මුතුහෙට්ටිගම  මහතාගේ ආරක්ෂාවට ලබා දී  තිබු පොලිස් ආරක්ෂාව අද (31) සිට ඉවත් කර ඇති බව පොලිස පවසයි.

නිශාන්ත මුතුහෙට්ටිගම මහතා වරාය හා නාවික කටයුතු  නියෝජ්‍ය අමාත්‍ය ධුරය දැරූ සමයේ තීරුබදු රහිතව  වරායෙන් පිට මං කර ඇති බව කියන මෙම සුඛෝපභෝගී මෝටර් රථයක් ඔහුගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයකු විසින්  පදවමින් සිටියදි ඊයේ (30) ගාල්ල නගරයේ දී පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරය ඒකකය විසින් අත්අඩංගුවට ගැනීමත් සමග  මේ සම්බන්ධයෙන්  විමර්ශන සිදුකර  එම ආරක්ෂාව ඉවත් කර ඇති බව  පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පවසයි.

නිශාන්ත මුතුහෙට්ටිගම මහතාට  මන්ත්‍රි ධූරය අහිමි වී සිටියද ඔහුට ඇති තර්ජන හේතුවෙන්  ඔහු කර තිබු ඉල්ලීමකට අනුව  ගාල්ල පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු ඔහු වෙත අනුයුක්ත කර සිටි බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ එම ජිප් රථයේ  වෙනත් වාහන අංකයක් සවිකර තිබී ඇත.

පෙරේදා සිද්ධියෙන් පසු අදාල කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන මෙම මස 14 වැනි දින දක්වා ඔහු රිමාන්ඩ් කර ඇත.

මෙම සිද්ධියෙන් පසු  ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් සිටි සෙසු පොලිස් කොස්තාපල්වරයාත් ඉවත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.