(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ වාහන 12ක් වෙන්දේසි කිරීමට තීරණය කර තිබුණද  මේ දක්වාම එම කාර්යය සම්පූර්ණ කර නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.

පස්දෙනෙකුගෙන් යුත් කමිටුවක් මෙම වාහන 12 වෙන්දේසි කිරීමට පසුගිය වසරේ මැයි මස 28 වැනිදා තීරණය කර තිබූ බව එම වාර්තාවේ දැක්වේ.

මේ අතර පාර්ලිමේන්තුවේ  මියගිය, විශ්‍රාම ගිය, වැඩ තහනම් කළ සේවයෙන් පහ කළ හා සේවය හැර ගිය නිලධාරීන්ගෙන් ලක්ෂ තිස්පහකට ආසන්න මුදලක් අය විය  යුතුව තිබූ  බව  එම වාර්තාව  පෙන්වා දෙයි.

වැඩ තහනම් කළ නිලධාරීන්ගෙන් අය විය යුතු ණය ශේෂයද අයකර ගැනීමට කඩිනම් ක්‍රියාමාර්ග ගෙන නොතිබුණු  බවද  එහි දැක්වේ

ආයතනයේ තොරතුරු හා සයිබර්  ආරක්ෂණ ප්‍රතිපත්තිය සම්බන්ධ වගකීම  අභ්‍යන්තර විගණක වෙත පැවරෙන නමුත් එසේ වගකීම පවරා නොතිබූ බව වාර්තාව සදහන් කරයි.

සයිබර් අාරක්ෂණ ප්‍රතිපත්තියට අදාළ අභ්‍යන්තර විගණන වැඩසටහන් ක්‍රියාත්මක කර නොතිබුණු බව පවසන විගණන  වාර්තාව අදාළ ක්‍රියාකාරකම්වලට   උපායාමාර්ගික උපදෙස්  සඳහා තොරතුරු ආරක්ෂණ පිහිටුවා  නොතිබුණු බවද  පෙන්වාදෙයි

ආයතන ප්‍රධානී වෙත ඍජුවම වාර්තා කරන තොරතුරු හා තොරතුරු තාක්ෂණ වත්කම් සම්බන්ධයෙන් ආයතනයේ අවදානම් කළමනාකරණය අධීක්ෂණය කිරීමේ වගකීම දැරිය යුතු අවදානම් කළමනාකරණ  කමිටුවක් පිහිටුවා නොතිබුණු බවද  ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 2025 වාර්ෂික කාර්ය සාධන  වාර්තාවට ඇතුළත්  කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.