(සුජිත් හේවාජුලිගේ )

පළාත් පාලන  මැතිවරණයට සහාය ලබා දෙන්නැයි ඉල්ලමින් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කළ බව  මැතිවරණ  කොමිෂන් සභාවේ සභාපති නීතිඥ  නිමල් පුංචිහේවා මහතා පැවසීය.

කොමිසමේ සාමාජිකයන්ට එල්ල වූ තර්ජන පිළිබඳව කෙරෙන පරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන්  කොමිසම  සෑහීමට පත් නොවීම පිළිබඳවත් මැතිවරණ පැවැත්වීම සඳහා රාජ්‍ය සංවිධානවලින් ලැබෙන සහයෝගය මදකම පිළිබඳවත් මෙම ලිපියෙන් විශේෂයෙන් දැනුම් දුන් බව  ඔහු සඳහන් කළේය.

සාමාජිකයන්ට එල්ල වූ තර්ජන පිළිබඳ  විමර්ශන වේගවත් සහ කාර්යක්ෂම විය යුතු බව පැවසූ පුංචිහේවා මහතා තර්ජනයට ලක්වූ සාමාජිකයන්ට ලැබෙන පොලිස්  ආරක්ෂාව ගැන සෑහීමට පත්විය හැකි බවද  සඳහන් කළේය.

කවුරු කුමක් පැවසුවත් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අනුව කටයුතු කරන බවද ඔහු කීවේය.

මුදල් ලේකම්වරයා පාර්ලිමේන්තු මුදල් කමිටුවට පැමිණි අවස්ථාවේදී මුදල් දුෂ්කරතාවය පැවසුවත් මැතිවරණයට   මුදල් දිය නොහැකි යැයි  නොපැවසූ බවද  සභාපතිවරයා සඳහන් කළේය.

පළාත් පාලන ආයතන විසුරුවා හැරීමේ බලය ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාවට නොව පළාත් පාලන අමාත්‍යවරයාට බවත් ඒ  සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරන ලෙස අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.