(සුමිත් පොතුපිටිය)

නම්කර ඇති මැතිවරණ රාජකාරීන්වලට රපෝර්තු නොකරන රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව සදහන් කලේ අද කළුතර දිස්ත්‍රික්කයේ මැතිවරණ රාජකාරි නිරීක්ෂණය කිරීම සදහා පැමිණ නිරීක්ෂණ රාජකාරි වලින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.

රාජ්‍ය නිළධාරීන් හැත්තෑ එක් දහසකට අධික පිරිසකට තැපැල් ඡන්දය භාවිතා කිරීමට අවස්ථාව ලබාදී තිබෙනවා.

ඒ අතුරින් මැතිවරණ රාජකාරි සදහා පිරිසක් නම්කර තිබෙනවා. කිසියම් රාජ්‍ය නිළධාරියෙක් හෝ සේවකයෙක් නම්කර ඇති රාජකාරිවලට වාර්ථා නොකිරිමෙන් එම රාජකාරි අතපසු වෙනවා මෙන්ම තවත් නිළධාරියෙකුට අවස්ථාව අහිමි වෙනවා.

ඒ නිසා ඔබ කිසියම් මැතිවරණ රාජකාරීයකට නම්කර ඇත්නම් අනිවාර්යයෙන්ම රාජකාරියට වාර්ථා කරන ලෙස රාජ්‍ය නිළධාරින්ට දැනුම් දෙනවා. එසේ වාර්තා නොකරන සියලු රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බවද ඒ මහතා පැවසීය.