(තිළිණි ද සිල්වා)
මුතුරාජ වෙළ අභය භූමියට කුණු බැහැර කිරීම, හෝ වැලි ගොඩ දැමීම, පස් කැණීම,පිරවීම හෝ කුමන හෝ ආකාරයේ කසළ රැස්කිරීම සිදු කිරීමෙන් කොළඹ මහනගර සභාව හා එහි නාගරික කොමසාරිස් ඇතුළු බලධාරීන් පිරිසක් වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන ජනවාරි 23 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) නියම කළේය.
මුතුරාජවෙල අභය භූමියට කසළ බැහැර කිරීමට එරෙහිව වත්තල ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අගවිනිසුරු ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ එල්.ටී.බී.දෙහිදෙණිය යන මහත්වරුන් ගෙන යුතු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අතර මෙහිදී එදිනට කල් තැබිණි.
පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු සළකා බැලීම ලබන ජනවාරි 23 වැනිදා සිදු කිරීමට ද තීන්දු කළේය.
කොළඹ නගර සභාව මගින් මුතුරාජවෙල අභය භූමියට කසළ බැහැර කිරීම එම ප්‍රදේශයේ ජීවත්වන 25,000කට අධික පිරිසක් පීඩාවට පත් ඇති බවත්, එලෙස කසළ බැහැර කිරීමෙන් සිය මූලික අයිතීන් කඩවී ඇතැයි කියමින් බෝපිටිය ශ්‍රී බෝධි විහාරයේ ධම්මකුසල හිමියන් ,බෝපිටිය ශාන්ත නිකලස් දේවස්ථානයේ ආනන්ද විතාරණ ඇතුළු වත්තල මුතුරාජවෙල රක්ෂිතය ආසන්නයේ පදිංචිකරුවන් 35 දෙනෙකු මෙම පෙත්සම ගොනු කරනු ලැබ සිටිති.
කොළඹ මහ නගර සභාව ,එහි නාගරික කොමසාරිස්වරයා , නාගරික සංවර්ධන අධිකාරිය,මධ්‍යම පරිසර අධිකාරිය, වත්තල ප්‍රාදේශීය සභාව, කෘෂිකර්ම දෙපාර්තමේන්තු කොමසාරිස් ජනරාල්වරයා වනජීවි අධ්යක්ෂ ජනරාල්වරයා, වාරිමාර්ග දෙපර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා ,වත්තල සහකාර ප්‍රාදේශීය ලේකම් ,භූ විද්‍යා හා පතල් කාර්යාංශය සහ නීතිපතිවරයා මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කරනු ලැබ සිටිති.
අවිධිමත් ලෙස කසළ බැහැර කිරීම නිසා තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වීමක් සිදුවන බවට පෙන්වා දෙන පෙත්සම්කරුවන් , ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ 12 (1) ,14 (1) ජී යන වගන්තීන් යටතේ දක්වා ඇති මූලික අයිතීන් කඩවන බවට ප්‍රකාශයක් කරන්නැයිද පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටී.
එසේම මුතුරාජ වෙළ අභය භූමියට කුනු බැහැර කිරීම , හෝ වැලි ගොඩ දැමීම , පස් කැණීම ,පිරවීම හෝ කුමන හෝ ආකාරයේ කසල රැස්කිරීම සිදු කිරීමෙන් 1 සිට 10 දක්වා වගඋත්තරකරුවන් වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයිද පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටිති.
පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතීඥ ආචාර්ය සුනිල් කුරේ ,කොළඹ නාගරික කොමසාරිස් වෙනුවෙන් නීතීඥ සේනානි දයාරත්න මහත්වරුන් පෙනී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුතුරාජවෙල කියන්නේ මොකද්ද කියලවත් මේ උසාවියේ කට්ටිය දන්නේ නැද්ද? මේ තරම් පරිසර හානියක් වෙනකොට තවමත් සලකා බලනවද? ඉතින් මේ රටට මෙහෙම වෙලා නොතියෙයිද? කාගේ බලපෑමටද මෙහෙම කරන්නේ?
ජෝන් අමරතුංගගේ ආසනේ... පහුගිය ආණ්ඩුව කාලේ කොළඹ කුණු ලොරිපිටින් ගෙනත් මුතුරාජවෙල අභය භූමියේ වෙලවල් පුරවලා පස් දැම්මා. එ්ක කෙරෙව්වේ බෝපිටියේ පස් රනිල් කියලා පස්ජාවාරම් කාරයෙක්ව යොදවලයි. දැන් ඒ පස් ජාවාරම් කාරයා පොහොට්ටුවට සහයෝගය දුන්නා මේ පාර... ඉතින් ඉතුරු ටික මේ ආණ්ඩුවෙන් මිනිහ කරගනියි. නමුත් මිනිහා කරන්නේ දේශපාලකයන් අල්ලාගෙන අභයභූමියේ වෙල් ගොඩ කරගෙන අයිති කරගන්න එකයි. බෝපිටියේ වෙල් ගොඩකරලා ගමක් හැදුව නීල් රූපසිංහ කියලා වත්තල ආසනේ පොහොට්ටු සංවිධායක. ඔක්කොම ඉඩම් දුන්නේ පිටින් ගෙන්නපු පවුල් වලට.... ගමේ දුප්පතුන් බොහොම සුළු දෙනාටයි ඉඩම් ලැබුනේ. දැන් ඒ ගමේ මේ ලෝකේ තියෙන ඔක්කොම හොර ජාවාරම් වෙනවා. මුළු පමුණුගම සහ බෝපිටිය ප්‍රදේශයම හොරුන්ගෙන් පිරිලා. කුඩු කාරයින්ගෙන් පිරිලා. ලස්සනට සාමකාමීව තිබුණු පැත්ත... දැන් විනාශයි. මුතුරාජවෙල කුණු පුරවලා, පස් කපලා, හොරෙන් ඉඩම් අල්ලාගෙන විනාශ කරනවා. හැමිල්ටන් ඇලට කුණු දානවා. ඔය වෙල් ඔක්කොම ටිකේ තියෙන ජරාව ගලාගෙන එන්නේ හැමිල්ටන් ඇළට... ඒ හින්දා මේ වෙද්දී ඇළ විනාශයි. පිටින් මිනිස්සු ගෙනත් දාලා ප්‍රදේශයම හොර ජාවාරම් ගුහාවක් වෙලා. ආසනේ සියලුම දේශපාලකයන් නිදි...
කල්දානවා ඉවරයක් නැහැ. පරිසරය සම්බන්ධ නඩු අහන්න වෙනම උසාවියක් දාන්න ඕනේ... මෙහෙම නඩු කල් දාන කොට වෙන්න ඕනේ හානිය වෙලා ඉවරයි. නඩු කල් දැමීමෙන් පෙන්නුම් කරන්නේ උදාසීනත්වයයි.
කැලණිය, දිප්පිටිගොඩ, වේවැල්දුව, වනවාසල ආදී ප්‍රදේශවලත් මේ මුතුරාජවෙල පැතිරී පවතිනවා. මෙම ප්‍රදේශවල ගොඩකිරීම්, කසල දැමීම්, ඇළමාර්ග වසා දැමීම් ආදිය අනන්තයි. කොතරම් දැනුවත් කළත් කැලණිය ප්‍රාදේශීය සභාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නොදැක්කා සේ ඉන්නවා...