(ගයාන් සූරියආරච්චි)

සංවිධානාත්මක අපරාධකරුවකු වන සොබනා හන්දි ජයලත් ද සිල්වා නොහොත් කරන්දෙණිය සුද්දා නැමැත්තාගේ සහෝදරයාගේ නිවෙසේ සිටියදී අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන සැකකරුවන් 4 දෙනාගෙන් ලද තොරතුරු මත එක් සැකකරුවකුගේ නිවෙස පිටුපස වළ දමා තිබී උණ්ඩ 109 ක් සොයා ගත් බව මීටියාගොඩ පොලිසිය පවසයි.

සංවිධානාත්මක අපරාධකරුවකු වන කරන්දෙණිය සුද්දා නැමැත්තාගේ සහෝදරයාගේ වන සනත් ද සිල්වා නොහොත් රාජු නැමැත්තාගේ නිවෙසේ සිටියදී ඇල්පිටිය විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් එම සැකකරුවන් 4 දෙනා ඉකුත් (30) දා අලුයම අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරුවන් කරන්දෙණිය සුද්දා නැමැත්තාගේ ප්‍රතිවාදී කල්ලියේ ප්‍රබලයකු ඝාතනය කිරීම සඳහා සැලසුම් කර තිබූ බව පොලිසිය පැවසීය.

ඒ අනුව සැකකරුවන් සිවු දෙනා රැදවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටියදී එක් සැකකරුවකුගෙන් අනාවරණය කරගත් තොරතුරු මත මීටියාගොඩ ප්‍රදේශයේ ඔහු පදිංචි නිවෙස පිටුපස වළදමා තිබියදී මෙම උණ්ඩ තොගය සොයාගෙන තිබේ.

එම උණ්ඩ අතර ටී 56 වර්ගයේ උණ්ඩ 96 ක් සහ මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ 13 ක් පොලිසිය සොයාගෙන ඇත.