(අංජුල මහික වීරරත්න)

ජනතාවට මින් පසු රෑට ලයිට් එන්නේ ඩීසල් වලින් බව ඛනිජ තෙල් තෙල් සංස්ථා සභාපති ඩී.ජේ රාජකරුණා මහතා අද (22)පැවසීය.

නැප්තා නොමැති නිසා ඒ වෙනුවට විදුලිය නිපදවීම සඳහා ඩීසල් භාවිත කරන්නට සිදුවන බව ද රාජකරුණා මහතා කීය.

බලාපොරොත්තු වූ බොර තෙල් නෞකා දෙකක් නොපැමිණීම නිසා මේ අර්බුදයට මුහුණ දීමට සිදුවූ බව කී ඛනිජ තෙල් සංස්ථා සභාපතිවරයා ඒ අනුව පිරිපහදුව පවත්වාගෙන යන්නට හැකියාව ලැබෙන්නේ ලබන මාසයේ මැද වනතුරු පමණක් බව සඳහන් කළේය.

පිරිපහදුව නතර වීමත් සමග විදුලිය උත්පාදනය සඳහා භාවිත කරන දැවි තෙල් සහ නැප්තා සැපයුම නවතින බව පැවසූ සභාපතිවරයා එය බරපතල ගැටලුවක් බව කීය.

ක්ෂණික මිලදී ගැනීමක් අනුව දැවි තෙල් නෞකාවක් ලබන 12-13 පැමිණෙන නමුත් නැප්තා නොමැති බැවින් ඒ වෙනුවට ඩීසල් පාවිච්චි කරන බව සභාපතිවරයා කීය.

මෙතරම් ඩීසල් නැව් මෙතරම් ප්‍රමාණයක් අවශ්‍ය වන්නේ ඒ නිසා බවද ඛනිජතෙල් සංස්ථා සභාපතිවරයා සඳහන් කළේය.

ඩීසල් ලීටරයක මිල රුපියල් 140 කින් වැඩි වී තිබෙන අතර සියලු ජනතාව මේ අර්බුදය හරියට තේරුම් ගෙන එක ලයිට් එකක් හෝ නිවා සහාය දෙන්නැයි ඉල්ලා සිටින බවද ඛනිජතෙල් සංස්ථා සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

" ජනතාව එපා කියද්දී පෝලිම් වල හිටපු නිසා අඩුවට ගෙනාපු ඉන්ධන ඉක්මනින් ඉවර වුණා.ඒ තත්ත්වය දරාගන්න බැරි වූ නිසා වැඩිපුර ගෙවා ගෙනාපු තෙල් වලට 10 වෙනිදා මිල වැඩි කරන්න සිදුවුණා" යනුවෙන්ද ඛනිජ තෙල් සංස්ථා සභාපතිවරයා සඳහන් කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී ඛනිජ තෙල් සංස්ථා සභාපති ඩී.ජේ රාජකරුණා මහතා මේ බව සඳහන් කළේය.