(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මීගමුව ප්‍රදේශයේ නීති විරෝධී සම්බාහන මධ්‍යස්ථාන දෙකක තෙරපිවරියන් ලෙස සේවය කළ කාන්තාවන් දෙදෙනකුට ඒඩ්ස් වයිරසය ආසාදනය වී ඇති බවට වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වීමෙන් අනතුරුව එම ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථාන පනස් පහක් වටලා ඒවායේ තෙරපිවරියන් ලෙස සේවය කරමින් ගණිකා වෘත්තියේ නිරතව සිටියේ යැයි කියන තරුණියන් සහ කාන්තාවන් එකසිය පනස් දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව මීගමුව මූලස්ථාන පොලිසිය පවසයි.

මේවා කළමනාකරණය කළ කාන්තාවන් සහ පිරිමි පුද්ගලයන්ද මේ සමග සැකපිට අත්අඩංගුවට ගෙන ඔවුනට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය මෙම සම්බාහන මධ්‍යස්ථාන පනස් පහ වසා දැමීමට ද කටයුතු කළ බව පොලිසිය පවසයි.

යුක්තිය මෙහෙයුමට සමගාමීව කරනු ලැබූ වැටලීමකදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පිරිසක් පසුගිය දිනක සැකපිට අත්අඩංගුවට ගෙන ඔවුන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට යොමු කර ඇත.