(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

හෝමාගම මාගම්මන ප්‍රදේශයේ දෙමහල් නිවසක ඉකුත් 25 දා රාත්‍රි පහළ මාලයේ කාමරයක ඇතිවූ ගින්නෙන් පිළිස්සුම් තුවාල ලබා බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සය හැවිරිදි දියණිය ද මියගොස් ඇති බව කහතුඩුව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ හෝමාගම මාගම්මන පදිංචිව සිටි රිතුෂි රණසිංහ නමැති සය හැවිරිදි දියණියක බව පොලීසිය කියයි .

මෙම ගින්න ඉකුත් 25 දා රාත්‍රී 8.30 පමණ හෝමාගම මාගම්මන ප්‍රදේශයේ දෙමහල් නිවසක පහළ මාලයේ කාමරයක් තුළ සිදු විය.

සිද්ධිය වන අවස්ථාවේදී මියගිය සය හැවිරිදි දියණියගේ මව පියා වැඩිමහල් සොහොයුරිය කාමරය තුළ තුළ සිට ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහල සහ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරිණි .

සිද්ධියෙන් සය හැවිරිදි දියණියගේ පියා එදිනම මියගිය අතර මව පසුදින මියගිය බවත් වැඩිමහල් සොහොයුරිය සිද්ධියෙන් දින තුනකට පසුව මිය ගොස් තිබුණි .

මෙම ගින්නෙන් ලසන්ත බුද්ධික 47, (පියා) කාලිකා දේවී 35 , (මව) සහ කාවින්දි රණසිංහ 19, (වැඩිමල් සොයුරිය) මිය ගොස් තිබූ අතර ඔවුන්ගේ මෘත දේහයන් පිළිබඳ අවසන් කටයුතු ඉකුත් දා දියගම මල් ශාලාවකදී පැවැත්වුණි .

තුවාල ලැබූ සය හැවිරිදි දියණිය රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් ඇති අතර මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කෙරිණි.