(තිලකරත්න දිසානායක)

ගොයම් කැපීමේ යන්ත්‍ර ගාස්තු නොසිතූ ලෙස වැඩි කිරීම නිසා අස්වැන්න නෙළා ගැනීමට නොහැකිව දිවයින පුරා ගොවීහු  දැඩි අපහසුතාවයට පත්ව සිටිති.

මුහුණ පෑමට සිදුව අපහසුතාවයට කිසියම් සහනයක් සලසන ලෙස ගොවීහු රජයෙන් ඉල්ලා සිටිති.

ගොයම් කැපීමේ යන්ත්‍ර සදහා මීට පෙර අක්කරයක ගොයම් කැපීමට  රුපියල් 12,000 ක් පමණ අය කළ ද, එය මේ වනවිට රුපියල් 24,000 ක් රුපියල් 25,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ගොවීහු පෙන්වා දෙති. 

අධිකමිල ගණන් යටතේ පොහොර යොදා යාන්තම් සාර්ථක කර ගත් ගොයම කැපීමට තවත් විශාල මුදලක් දැරීමට සිදුවීම තමන්ට කිසිසේත් ඔරොත්තු නොදෙන බවත් ගොවීන් වී වගාවෙන් ඈත්වීමේ ප්‍රවණතාවක් ඇතැයි ද ගොවීහු පෙන්වා දෙති. 

වී අස්වැන්න නෙලීමේ ගාස්තු ඉතා අසාධාරණ ලෙස වැඩි කිරීම  සම්බන්ධයෙන් ගම්පහ දිසාපති ඩබ්ලිව්.ජේ.සත්‍යානන්ද මහතාගෙන් කළ විමසිමේදී මෙසේ පැවැසීය.

ගොයම් කැපීමේ සහ සීසෑම සදහා යන්ත්‍ර සදහා අවශ්‍ය ඉන්ධන ලබාදීම පිනිස ගම්පහ දිස්ත්‍රික්කයේ පිරවුම්හල් කිහිපයක් හදුනාගෙන තිබෙනවා. කෘෂි නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් මාර්ගයෙන් ඉන්ධන නිකුත් කිරීම පිනිස හෙට ( 16 ) දිනයේ පැවැත්වෙන කෘෂිකර්ම කමිටු රැස්වීමේදී සාකච්ඡා කොට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නවා.

තවද ඉන්ධන අවශ්‍ය පරිදි සැපයීම පිළිබඳව සහ අය කෙරෙන ගාස්තු සම්බන්ධයෙන් ගොයම් කැපීමේ යන්ත්‍ර හිමිකරුවන් සමග හැකි ඉක්මනින් සාකච්ඡා කොට ගොවීන්ට කඩිනමින් සහනයක් සැලසීමට හැකිද යන්න පිළිබඳව සොයා බලන බවද දිසාපතිවරයා කීය.