(සුරංග රාජනායක සහ ජේ. ඒ.එල්.ජයසිංහ)

මහියංගන රාජමහා විහාරයෙන් සොරකම් කරන ලද පුරාවිද්‍යා වටිනාකමක් ඇති සමාධි බුදු පිළිමයක් සමග හිමිනමක් හා එයට සහාය දැක්වූ පුද්ගලයකු මෙන්ම ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමලත් බලලත් නිලධාරීන් දෙදෙනකු මහනුවර නගරයේදී අත්අඩංගුවට ගත් බව  මහනුවර මූලස්ථාන පොලිසියේ අපරාධ අංශය කියයි.

මහනුවර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රශික සම්පත් පතිරණ මහතාට ලද තොරතුරක් මත ඔහුගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.යු.කේ.ලියනාරච්චි මහතා ඇතුළු පොලිස් කණ්ඩායමකට බුදු පිළිමය සමග මෙම සැකකරුවන් මෙසේ අත්අඩංගුවට ගැනීමට හැකි වු බව පොලිසිය පවසයි.

2025 ඔක්තෝම්බර් 23 දින මහියංගන රාජ මහා විහාරයෙන් සොරාගෙන ඇති මෙම බුදු පිළිමය පසුව මැයි 14 දින මහනුවර නගරයට රැගෙනවිත් මෝටර් රථයක් තුළ සඟවාගෙන එහි කොටස් කිහිපයක් කපා ඉවත් කර ලෝහ මය පරීක්ෂණයකට යොමුකර ඇති අතර එහි වාර්තාවක්ද ලබාගෙන තිබේ.

ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික බලලත් නිලධාරීන් දෙදෙනෙකු විසින් මෙම ක්‍රියාව සිදුකර ඇති අතර ඔවුන් පැමිණි මෝටර් රථයද මහනුවර කුමාරවීදියේ තිබී පොලිස් බාරයට ගෙන තිබෙ.

මොවුන් බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.