
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
බස්-ලොරි සහ ගිලන් රථ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියාමනයෙන් තොරව යෝග්‍යතා සහතික නිකුත් කරන බව ප්‍රවාහන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ අනුකාරක සභාවේදී අනාවරණය විය.
එම යෝග්‍යතා සහතික මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියාමනයෙන් තොරව පළාත් සභා වල ලියාපදිංචි ගරාජ මගින් සිදුවන බව ඊට සහභාගී වූ රාජ්‍ය නිලධාරීහු පැවසූහ.
පාර්ලිමේන්තුවේ දී රැස් වූ මෙම අනු කාරක සභා රැස්වීම සඳහා ප්‍රවාහන මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ආයතන කිහිපයක් නියෝජනය කරමින් නිලධාරීහු සහභාගී වූහ.
මෙහිදී අදහස් දක්වමින් ප්‍රවාහන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ අනුකාරක සභාවේ සභාපතිනී පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පැවසූයේ අදාල යෝග්‍යතා සහතික නිකුත් කරන ගරාජ වල ප්‍රමිතිය, විශ්වසනීයත්වය ඇතුළු ගැටලු පවතින බැවින් ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම අවශ්‍ය බවයි.
පොදු ප්‍රවාහනයේදී මගී ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ යුතු යෝජනා සහිත වාර්තාවක් ප්‍රවාහන අමාත්‍යාංශය මගින් සකස් කොට මාස දෙකක් ඇතුලත ප්‍රවාහන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට ලබා දෙන ලෙස ද අනුකාරක සභා සභාපතිනිය නිලධාරීන්ට දැනුම් දුන්නාය.
එමෙන්ම රියැදුරු වෘත්තීය ප්‍රමිතිගත කිරීම සඳහා වූ යෝජනා මාසයක් ඇතුලත අනුකාරක සභාවට ලබා දෙන ලෙසද එහි සභාපතිනිය ජාතික ගමනාගමන කොමිෂන් සභාවට උපදෙස් දුන්නාය.
බස් රථ රියැදුරන් මත්ද්‍රව්‍ය භාවිත කිරීමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන ශක්තිමත් කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු විය.
රියැදුරකුගේ ශරීරයේ පවතින මත්ද්‍රව්‍ය අනාවරණය කර ගැනීම ඇතුළු තාක්ෂණික යාන්ත්‍රණය විධිමත්ව සකස් කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී කරුණු සාකච්ඡා විය.
COMMENTS
බස්වලින් තමයි වැඩිම දුමක් මුදා හරිනේ... මොවුන් පගාව අරගෙන බොරුවට ටෙස්ට් කරනවා. ලංගම බස් අනිවාර්යයෙන් චෙක් කරන්න ඕනේ. රජයේ වාහන තමයි වැඩියෙන්ම පරිසරය දූෂණයව කරන්නේ. මේක නැති කරන්න ඕනේ...
ප්‍රායෝගිකව ගරාජයක යම් වාහයනයක යෝග්‍යතාව පරීක්ෂා කරන වෙලාවට නිලධාරියෙකුට ගිහිල්ලා බලන් ඉන්න බෑ. එහෙම නම් හැම පරීක්ෂාවක්ම වීඩියෝ කරලා යවන්න වෙනවා. ඒක බලන්න වෙනම නිලධාරීන් යොදවන්න වෙනවා. අන්තිමේදී පරීක්ෂාවට වැඩි මුදලක් පරීක්ෂාව පරීක්ෂා කරන්න යන්න පුළුවන්.