(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ බලය විමධ්‍යගත කිරීම සඳහා පිහිටුවා ඇති ප්‍රධාන ආයතන දෙකම අද සිට වක්‍රාකාරයෙන් ජනාධිපතිවරයාගේ පාලනයට නතුවන බවත් මෙම තත්වය ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන කිසිවෙකුට එකඟවිය නොහැකි තත්වයක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා අද (20) පැවසීය.

පළාත් පාලන ආයතනයක බල සීමාවක සිටින ජනතාවගේ  එදිනෙදා කටයුතු, සෞඛ්‍ය ආරක්ෂිතතාව, විවිධ කාරණ සම්බන්ධයෙන් මැදිහත් වීමට බලය විමධ්‍යගත කිරීමේ කුඩාම ඒකකය පළාත් පාලන ආයතන බව කී ඒ මහතා බලය විමධ්‍යගත කිරීමේ අනෙක් ව්‍යුහය වන පළාත් සභා රට තුළ ක්‍රියාත්මක වුවද ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස මහජන නියෝජිතයන්ගෙන් තොරව බව ද සඳහන් කළේය.

ජනාධිපතිවරයා පත්කළ ආණ්ඩුකාරවරු 9 දෙනෙක් පළාත් සභා පාලන කරන බවත් පළාත් සභා පවත්වාගෙන යන්නේ නම් මහජන නියෝජිතයන් හරහා පාලනය වියයුතු යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිගින් දිගටම හඩනැඟූ බවත් කාරියවසම් මහතා කීය.

ජනතාව පළාත් සභා ක්‍රියාත්මක නොවන්නේ යැයි සිතා සිටිය ද පළාත් සභා අඛණ්ඩව ක්‍රියාත්මක වුවද පාලනයට මහජන නියෝජිතයන් නොමැතිව කෙරෙන බව කී කාරියවසම් මහතා සඳහන් කළේ ඊයේ සිට පළාත් පාලන ආයතනය රාජ්‍ය නිලධාරීන් හරහා පාලනය වන බවත්ය.  

මෙම ආයතන අදාල ප්‍රදේශයේ ජනතාවගේ ඡන්දයෙන් පත්වන මහජන නියෝජිතයන් පාලන කිරීම සඳහා නිර්මාණය කර තිබුණ ද ඊයේ සිට එම තත්වය වෙනස් වන බව ද කාරියවසම් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

බත්තරමුල්ල, නෙළුම් මාවත පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (20) පැවති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා එසේ පැවසීය.