(උපුල් හේරත්)

අනුරාධපුර තන්තිරිමලේ ගම්මාන රැසක නිවාසවල විදුලිබිල ගෙවා ගැනීමට නොහැකි වීම නිසා ඔවුන්ගේ විදුලිය විසන්ධි වීමෙන් එම නිවෙස්වල පාසල් දරුවන්, සිඟිති දරුවන් සහ වැඩිහිටියන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි ගම්වාසීහු පවසති.

විදුලිබිල ඉහළ යෑමත් ස්ථීර ආදායම් මාර්ග නොමැති වීමත් නිසා තමන්ට විදුලි බිල් ගෙවා ගැනීමට නොහැකි වී ඇතැයි ද ගම්වාසීහු පවසති.

තමන් මුහුණ බී ඇති ආර්ථික දරිද්‍රතාවය නිසා නැවත විදුලිය ලබා ගැනීම සිහිනයක් යැයි එම නිවෙස් හිමියෝ පවසති.

තන්තිරිමලේ, ඉහළ ගෝනෑව, තම්බියාව, සඳමල්එළිය ඇතුළු ගම්මාන රැසක පදිංචිකරුවන් සෘජුව මෙම ගැටළුව බලපා ඇති බව අප කළ සංචාරයේදී දැකගත හැකි විය.

දවල්ට සහ රෑට එකවේලාක් ආහාරයට ගන්නා මෙම පිරිස වල් අලින්ගෙන් ද දැඩි බලපෑම් එල්ල වී ඇත.

මේ සම්බන්ධයෙන් ඉහළ ගෝනෑව,තම්බියාව ප්‍රදේශයේ පදිංචි එච් සමරකෝන් මහතා මෙසේ අදහස් දැක්වීය.

ජීවත්වෙන්න බැරිම තැන ගමේ හත් අට දෙනෙක් එකතුවෙලා කුලියට ඩිමෝ බට්ටෙක් ඇරගෙන හැතැක්ම 25ක් පමණ දුර පිහිටි අසිරික්ගම යන මුස්ලිම් ගම්මානයේ කුලී වැඩට යනවා.දවස් දහයකට පසු ඒ වැඩ කරලා ආපසු එනවා.රුපියල් 2500න් රුපියල් අටසීයක් විතර දවසකට වියදම් වෙනවා. ඉතිරි මුදල ගෙදරට වියදම් කරනවා. සමෘද්ධියක් ලැබුනට ඒක සෑහීමකට පත් වෙන්නෙ නෑ. මේ වන විට බිරිඳක් දරුවොත් කරුවලේ ගෙදරට වෙලා ඉන්නවා. රුපියල් හතළිස් පන්දහසක් ගෙවා ගන්න බැරිව විදුලිය විසන්ධි කරේ ,විදුලි රැහැණක් ගලවාගෙන ගිහින්. දැන් තියෙන ආර්ථික තත්වය අනුව ආයෙ මට කවදාවත් ලයිටි ගන්න බැරිවෙන බව කදුළු සලමින් කිවෙිය.

ඉහළ ගෝනෑව,තම්බියාව ලිපිනයේ පදිංචි එච් රාජකරුණා (48) යන අය මෙසේ කියා සිටියේය. මගේ විදුලියත් විසන්ධි කළා. දවසකට රුපියල් දෙතුන්සීයක්වත් ඉතිරි කර ගන්න බැරිව තිබියදී අපි කොහොමද මෙතරම් මුදල් කන්දරාවක් ගෙවන්නේ. විදුලි බිල විතරක් නම් කමක් නැහැ.ඒකට වැට් එකතු කරල,දැන් ඒ බිලේ මුළු එකතුව එකට තුනක්.දවසේ එක වේලක් කන අපිට නැවත විදුලිය ගන්නා එක නම් හීනයක් යනුවෙන් ඔහු සඳහන් කළේය.

මෙම සිද්ධිය පිළිබඳව අනුරාධපුර දිස්ත්‍රික්කකයේ ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු සිරි කුලරත්න මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී මෙසේ පැවැසීය. තන්තිරිමලේ ප්‍රදේශයේ විදුලි පාරිභෝගිකයින් එකසිය පනස් පස් දෙනකුගේ විදුලිය විසන්ධි කළා. ඉන් 75 දෙනෙකු නැවතත් විදුලිය ලබාගෙන තිබෙනවා.

තන්තිරිමලේ ප්‍රදේශයේ ගම්මාන කිහිපයක පදිංචිකරුවන්ගේ විදුලිය විසන්ධි කිරීම සම්බන්ධයෙන් මහවිල්ලච්චය ප්‍රාදේශීය ලේකම් මංජරී සී.චන්ද්‍රදාස මහත්මියගෙන් කළ විමසීමකදී මෙසේ කීවාය. විසන්ධි කළ විදුලි බිල ගෙවීම සඳහා රජයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නැහැ. එහෙත් මේ වන විට විවිධ ස්වේච්ඡා සංවිධාන මගින් ආධාර උපකාර කරන බවට තොරතුරු ලැබී තියෙනවා. ස්වයං රැකියාවක් සඳහා ඉල්ලුම් කරන්නේ නම් ඒ සඳහා සොයා බලා අවශ්‍ය කටයුතු කළ හැකියි.