( අමදෝරු අමරජීව)

ත්‍රිකුණාමලය, නිලාවෙලි, ඉලුප්පුකුලම බොරළුකන්ද විහාර භූමිය ඉදිරිපිට රැස්වී විරෝධතාවයක් පැවැත්වීම වළක්වාලමින් ත්‍රිකුණාමලය අතිරේක මහේස්ත්‍රාත් දර්ශණී අන්නතුරෙයි මෙනවිය වාරණ නියෝගයක් නිකුත් කළාය.

නිලාවෙලි පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී. ඩී. ප්‍රදීප් නිශාන්ත කුමාර මහතා ඉදිරිපත් කල  වාර්ථාව සලකා බැලීමෙන් අනතුරුව පාර්ශව දෙකක වග උත්තරකරුවන් 14 දෙනෙකුට වාරණ නියෝගය නිකුත් කර තිබේ.

මේ අනුව පළමු පාර්ශවයේ වග උත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාසමානික්කම් ශානක්‍යා, සෙල්වරාසා ගජේන්ද්‍රන්, ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්, කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී පී. වෛද්‍යලිංගම්, දෙමල ජාතික ජනතා පෙරමුණේ තරුණ බලකායේ නායක ක්‍රිෂ්ණ පිල්ලේ ශ්‍රී ප්‍රසාද් දෙමළ සභාව නැමැති මුලධර්මවාදි සිවිල් සංවිධානයේ සභාපති ආර්. ජෙරොම් ලේකම් රමේෂ් නිකලස් හා දෙවන පාර්ශවයේ වග උත්තරකරුවන් වන ගෝකණ්නපුර සුරැකීමේ සංවිධනායේ සභාපති පූජ්‍ය අලුත් ඔය සද්දාතිස්ස හිමි, බොරලු කන්ද විහාරාධිපති  අම්පිටියේ සීලවංශ තිස්ස හිමි, විහාරාධිකාරි  ත්‍රිකුණාමලයේ සුඛිතවංශතිස්ස හිමි, ත්‍රිකුණාමලයේ ඥාණකිත්ති හිමි, මහදිවුල්වැව ඉන්ද්‍රාරාමාධිපති පොල්හේන්ගොඩ උපරතන හිමි, ගෝකණ්න පුර සුරැකීමේ සංවිධානයේ ලේකම් ඒල්. ජී. නන්දික විදුරංග, හිටපු ආසන සංවිධායක දයානන්ද ජයවීර යන අයට මෙම වාරණ නියෝගය නිකුත් කර තිබේ.

අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 106 (03) වගන්තියේ ප්‍රතිපාදන අනුව මෙම වාරණය විරෝධතාවයට සහභාගිවන සියලු දෙනා සඳහා පොදුවේ නිකුත් කරන බව අදාල වාරණ නියෝගයේ දැක්වේ.