(උපාලි ආනන්ද)

කලාවැව සහ නාමල් උයන ඇතුළු අවට ප්‍රදේශවල වසර ගණනාවක් තිස්සේ සැරිසරමින් පරිසරයට ඉමහත් සුන්දරත්වයක් එක් කළ පිරිපුන් දළ යුගලකින් හෙබි බරණ දළ ඇතාට විදුලි සැර වද්දවා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුව ගත් පොලිස් කොස්තාපල්වරයා රුපියල් ලක්ෂ දෙකක් වටිනා ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කැකිරාව වැඩ බලන මහේස්ත්‍රාත් එම්. පී ගස්සාලි මහතා නියෝග කළේය.

යළි ලබන සැප්තැම්බර් මස පළමුවන දින කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද වැඩබලන මහේස්ත්‍රාත්වරයා සැකකාර පොලිස් කොස්තාපල්වරයාට තවදුරටත් නියෝග කරනු ලැබීය.

මෙම සැකකාර පොලිස් කොස්තාපල්වරයා ගල්කිරියාගම පොලිස් ස්ථානයේ සේවය කරන්නෙකු නිසා ඔහුට ඇප ලබා දුන හොත් ප්‍රදේශයේ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ පැහැදිලි හැකියාවක් පවතින බවත්, එසේ ඇප ලබා දුනහොත් විමර්ශන කටයුතුවලට බාධා සිදුවන නිසාත් සැකකරුට ඇප ලබා නොදෙන ලෙසට වනජීවී නිලධාරීන් දීර්ඝව කරුණු දක්වමින් කළ ඉල්ලීම් සියල්ල ප්‍රතික්ෂේප කළේය.

මෙසේ ඇප මත මුදා හැරියේ ගල්කිරියාගම උල්පතගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ගල්කිරියාගම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයකු වන ජේ. එච්. එම්. අජිත් කුමාර ජයසුන්දර නැමැත්තෙකි.