(නිමන්ති රණසිංහ)

කොළඹ ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීමෙන් පසු ප්‍රචණ්ඩකාරීව හැසිරෙමින් බේරේ වැවට පිරිසක් තල්ලුකළැයි විශේෂ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගත් කාන්තාවක සහ පුරුෂයකු හදුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ලබන 26 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (23) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක සහ පිරිමි පුද්ගලයෙකි.

කොළඹ ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීමෙන් පසු ප්‍රචණ්ඩකාරීව හැසිරෙමින් සිටි පිරිස අතර සිටි මෙම සැකකරුවන් මැයි 09 වැනිදා බේරේ වැවට පිරිසක් තල්ලු කරනු වීඩියෝ දර්ශනවලින් හෙළිවී ඇතැයි පොලිස් විශේෂ විමර්ශන ඒකකය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

මෙම සිද්ධියට මුහුණ දුන් අයවලුන්ට සැකකරුවන් හඳුනාගැනීමට හැකි යැයි ප්‍රකාශ කර ඇති බවත් ඒ හේතුවෙන් සාක්ෂිකරුවන්ට හදුනාගැනීම සදහා පෙරට්ටුවකට ඔවුන් ඉදිරිපත් කිරීමට අවසර ලබා දෙන ලෙසත් පොලීසිය අධිකරණයෙන් ඉල්ලීය.