(රෝෂන් තුෂාර)

දේශීය ආදායම් පනතේ විධිවිධාන ප්‍රකාරව නිසි පරිදි බදු ෆයිල් පවත්වාගෙන නොයමින් හිතාමතාම බදු ගෙවීම් පැහැර හරින ව්‍යාපාරිකයින්ට එරෙහිව නඩු පවරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ විධිවිධාන ප්‍රකාරව සහ පසුගිය ජුනි මාසයේ සිට බලාත්මක වූ 2026 අංක 11 දරන දේශීය ආදායම් (සංශෝධන) පනතේ විධිවිධාන ප්‍රකාරව බදු නොගෙවන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද එම දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසීය.

පසුගිය ජුනි මාසයේදී වත්මන් රජය ආරම්භ කළ "බදු ශක්ති 2026” ජාතික වැඩපිළිවෙල යටතේ සිදුකළ හදිසි වැටලීම් අනුව නිසි පරිදි බදු ගෙවීම් සිදු නොකළ ව්‍යාපාරිකයින් හඳුනාගෙන ඇති බවත් , ඔවුන්ට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරියේදී නඩු පැවරීමට කටයුතු කරන බවත් පැවසීය.

බදු පනතේ විධිවිධාන ප්‍රකාරව  දින 30ක කාලසීමාවක්  අදාළ ව්‍යාපාරිකයින්ට ලබා දී එම කාලය තුළ බදු ගෙවීමට අදාල  අවශ්‍යතා ඉටු කිරීමට ව්‍යාපාර හෝ පුද්ගලයින් අපොහොසත් වුවහොත් ඔවුන්ට එරෙහිව නඩු පැවරීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට දෙපාර්තමේන්තුවට බලය පැවරී ඇති බව ද පැවසීය.

"බදු ශක්ති 2026” ජාතික වැඩපිළිවෙළ යටතේ දිවයින පුරා ව්‍යාපාරික ස්ථාන හදිසි පරීක්ෂා කිරීම් වලට ලක් කර ඇති අතර පසුගිය සිකුරාදා දින කොළඹ හා අලව්ව ප්‍රදේශවල ප්‍රසිද්ධ රන් ආභරණ ව්‍යාපාරික ස්ථාන විමර්ශනයට ලක් කිරීම සිදුකළ බව එම ව්‍යාපාරිකයෝ පැවසූහ.

මේ පිළිබඳව ලංකාදීපය කළ විමසීමකදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරියකු සඳහන් කර සිටියේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල නියෝජිතයින් මගින් මෙම වැටලීම්  අඛන්ඩව සිදු කරන බවය.