(සමන් පාලිත නානායක්කාර)

බණ්ඩාරවෙල හම්පරාව ප්‍රදේශයේ නිවසක් මතට ගල් බැම්මක් සමග පස්කන්දක්  ඊයේ (31) රාත්‍රීයේ කඩාවැටී එක් අයෙකු මිය ගොස් තවත් අයෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි බණ්ඩාරවෙල පොලිසිය කියයි.

මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ බණ්ඩාරවෙල හම්පරාව පදිංචිව සිටි හැත්තෑ දෙක  හැවිරිදි පුද්ගලයෙකි. 

බණ්ඩාරවෙල ප්‍රදේශයේ පැවති ධාරානිපාත වර්ෂාවත් සමඟ නිවසේ පිටුපස පිහිටි අනාරක්ෂිත ගල් බැම්මක් සමඟ පස් කන්ද රාත්‍රී 8ට පමණ කඩා වැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති අතර අනතුරෙන් නිවසේ එක්  කාමරයක් සම්පූර්ණයෙන්ම යටවී තිබූ බවත් බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල් උදය කුමාර මහතා පැවසීය.

මියගිය පුද්ගලයාගේ බිරිඳ තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කළ බවද පොලීසිය කියයි. 

බණ්ඩාරවෙල පොලිසිය පරීක්ෂණ පවත්වයි.