(විමුක්ති එස් රුද්‍රිගු)

විදේශ මුදල් හුවමාරු ගිවිසුමක් යටතේ බංගලාදේශය ශ්‍රී ලංකාවට ලබා දී ඇති ඇමෙරිකා ඩොලර් මිලියන 200 ක ණය මුදල නැවත ගෙවීමට තවත් මාස 6 ක කාලයක් ලබා දීමට බංගලාදේශ මහ බැංකුව තීරණය කර ඇත.

ශ්‍රී ලංකාව තම ණය මුදල මෙම වසරේ මාර්තු මස ගෙවීමට නියමිතව තිබූ අතර ඒ අනුව ණය මුදල ගෙවීමට සැප්තැම්බර් මස දක්වා ශ්‍රී ලංකාවට කල් ලැබෙනු ඇතැයි බිස්නස් ස්ටෑන්ඩර්ඩ් පුවත්පත පෙන්වා දී තිබේ.

බංගලාදේශය 2021 වසරේ අගෝස්තු මස ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ක් ශ්‍රී ලංකාවට ලබා දී ඇති බවත් ඉන්පසු අවස්ථා දෙකකදී ඉතිරි ඇමෙරිකානු ඩොලර් මිලියන 150 ලබා දී ඇති බවත් බිස්නස් ස්ටෑන්ඩර්ඩ් පුවත්පත සඳහන් කර ඇත.

පසුගිය ඔක්තෝබර් මාසයේ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා බංගලාදේශ මහ බැංකු අධිපති අබ්දුර් රවූෆ් තලුක්දර් හමුවූ අවස්ථාවේදී ශ්‍රී ලංකාව ණය මුදල මාර්තු මස ගෙවන බවද ප්‍රකාශ කළ බව බිස්නස් ස්ටෑන්ඩර්ඩ් පුවත්පත පෙන්වා දී තිබේ.