(ඩයනා උදයංගනී)

නිරිතදිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය හේතුවෙන් දිවයින වටා මුහුදු ප්‍රදේශ රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එැබැවින් අද (31) දිනයේදී ධීවර හෝ නාවික කටයුතු සඳහා යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කරමින් ධීවර සහ නාවික ප්‍රජාවන්ට දැනුම් දී ඇත.

දිවයින වටා මුහුදු වෙරළ ආශ්‍රිත සංචාරය කරනු ලබන පිරිස් ද මේ පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම පීඩන අවපාතය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් හෙට (1) දිනයේ ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට ඉඩ ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එහි බලපෑමෙන් උතුරු, නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත්වලත්, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල ද අද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මිලිමීටර 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි අතර, වයඹ සහ උතුරු පළාත්වලත්, අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මිලිමීටර 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව ද එම නිවේදනයේ සඳහන් වේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං හා අකුණු අනතුරුවලින් ආරක්‍ෂාවීමට පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කර ඇත.