(විජේරත්න රත්නායක )
1987 අංක 42 දරන පළාත් සභා පනතෙහි සංශෝධනයකට අදහස් ලබාගැනීම සඳහා ඌව පළාත් ආණ්ඩුකාරවරයා හරහා ඌව පළාත් සභාවට යොමුකර තිබූ සංශෝධන පනත් කෙටුම්පතක් සම්මත කිරීම ඌව පළාත් සභාව ප්‍රතික්ෂේප කළේය.
අද (27) පැවැති ඌව පළාත් සභා මාසික රැස්වීමට මෙම සංශෝධන පනත යොමු කරමින් ඒ පිළිබඳ සභාවේ අදහස් දින 14 ක් තුළ ජනාධිපතිවරයාට යොමුකළ යුතු බැවින් ඒ පිළිබඳ අදහස් කඩිනමින් ලබාදෙන ලෙස ඌව පළාත් ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා මහතා දන්වා තිබිණි.
ඒ අනුව පළාත් සභාවේ මුලසුන දැරූ නියෝජ්‍ය සභාපති විමල් ගලගම මහතා එය සභාවට ඉදිරිපත් කළ අතර ඉන් අනතුරුව ඒ පිළිබඳව අදහස් දැක්වූ ඌව පළාත් සභාවේ විපක්ෂ නායක ර.මු.රත්නායක මහතා, මෙතුළින් අපේක්ෂා කෙරෙන්නේ මෙතෙක් කළක් පළාත් සභාවට තිබූ බලයක් ඉන් ඉවත් කර සෘජුව මහ නගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභාවලට ලබාදීම බව පෙන්වා දුන්නේය.
මෙතෙක් කළක් පළාතේ පළාත් පාලන ආයතනවලට හිමි උසාවි දඩ මුදල්, මුද්දර ගාස්තු ආදී ලැබීම් මහා භාණ්ඩාගාරය හරහා පළාත් සභාවට ලැබී පළාත් සභාව මඟින් ඒ ඒ ආයතනවලට නිදහස් කෙරුණු බවත් එහිදී යම් නියාමනයකට හා අධීක්ෂණයකට යටත් වූ අතර පළාත් සභාවටද ඉන් සියයට තුනක ප්‍රමාණයක් හිමිවූ බවත් පැවසූ ඒ මහතා, මෙම යෝජිත සංශෝධනය ක්‍රියාත්මක වුවහොත් අදාළ මුදල් සෘජුවම අදාළ ආයතනවලට යැවෙන අතර එවිට එම මුදල් සම්බන්ධයෙන් කිසිදු නියාමනයක් හෝ අධීක්ෂණයක් නොවීමෙන් අක්‍රමිකතා සිදුවීමට ඉඩ ඇති බවද පළාත් සභාවට ලැබිය යුතු විශාල ආදායමක් ඉන් අහිමි වන බවද පැවසීය.
එසේම ඉඩම් තක්සේරු කිරීම් වැනි කාර්යයන්හිදී සිදුවිය හැකි අක්‍රමිකතා තුළින් එවන් කාර්යයන්ගෙන් රජයට ලැබිය යුතු මුදල්ද අහිමි වන බවත් රත්නායක මහතා පෙන්වා දුන්නේය.
මේ සම්බන්ධයෙන් පළාත් සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් රැසක් අදහස් දැක්වූ අතර ඒ සියලු දෙනාම මෙම සංශෝධනයට විරෝධය පලකළහ. ඒ අනුව අදාළ සංශෝධන පනත පිළිබඳව ඡන්ද විමසීමේදී එම අවස්ථාවේ සභා ගැබ තුළ සිටි පළාත් අමාත්‍යවරුන් වන සාලිය සුමේධ, සෙන්දිල් තොණ්ඩමන් යන මහත්වරුන් ඇතුළු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පස්දෙනාද විපක්ෂ නායක ර.මු.රත්නායක මහතා ඇතුළු එ.ජා.ප. මන්ත්‍රීවරුන් නව දෙනාද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ස්වාධීනව කටයුතු කරන කුමාරසිරි රත්නායක මන්ත්‍රීවරයාද පනතට විරුද්ධව ඡන්දය දුන් අතර ජ.වි.පෙ. මන්ත්‍රීවරු දෙදෙනා ඡන්දය දීමෙන් වැළකී සිටියහ.
ඒ අනුව එම පනත සංශෝධනය කිරීමේ යෝජනාව වැඩි ඡන්ද 15 කින් පරාජය විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළාත් සභා පනත සංශෝධනයට පළාත් සභා විරුද්ධ වන්නේ නම් පලාත්සභා රටට අවශ්‍යද යන්න ජනමත විචාරණයකින් විමසා බලන්න. පළාත්සභා මන්ත්‍රීන්ට අවශ්‍ය ලෙසට රට පාලනය කරනවානම් පාර්ලිමේන්තුවක් නඩත්තු කරන්නේ කුමටද. වහාම ජනමතය විමසන්න. මේරටේ දියුණුව වැලැක්වීමට රජිව්ගාන්ධි ඇටවූ උගුලෙන් දැන්වත් නිදහස් වෙමුද?
ලංකාපුත්‍ර මහතාගේ අදහසට මමත් එකඟ වෙනවා. පළාත්සභා අවශ්‍යද නැද්ද කියලා ජනමත විචාරණයක් පවත්වන්න.. ජනාධිපතිතුමනි, ඔය ජනමත විචාරණය ලබන ජනාධිපතිවරණය පවත්වන දිනයේම පැවැත්වීමෙන් ඕකට යන වියදම් අවම කළහැකිය.