(සුජිත් හේවාජුලිගේ )

නිසි වේලාවට මුද්‍රණ කඩදාසි නොලැබුණහොත් පෙළ පොත් මුද්‍රණය අඩාළ  විය හැකි බව රජයේ මුද්‍රණාලාධිපතිනී  ගංගානී කල්පනා ලියනගේ මහත්මිය පැවසුවාය.

පාසල් පෙළ පොත් මුද්‍රණය ලබන මාසයේදී  ආරම්භ කිරීමට නියමිතය.

මුද්‍රණ කඩදාසි මිල සියයට 28 කින් පමණ ඉහළ යෑම නිසා පෙළ පොත් මුද්‍රණය සඳහා යොදාගන්නා  විශේෂිත මුද්‍රණ කඩදාසි සොයා ගැනීම අභියෝගයක්වී ඇතැයිද  ඇය සඳහන් කළාය.

මුද්‍රණ කඩදාසි මිල සියයට 28  කින් ඉහළ දැමීමට සිදුවන බව සැපයුම්කාර සමාගම් අද දැනුම් දුන් බව  පැවසූ කල්පනා ලියනගේ මහත්මිය මේ සම්බන්ධයෙන් මහ භාණ්ඩාගාරය සමග ඉදිරියේදී සාකච්ඡා කිරීමට කටයුතු කරගෙන යන බවද කීවාය.

රජයේ මූලික ලියකියවිලි මුද්‍රණය කිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි  කරගෙන යන බවත් ඒ සඳහා මුද්‍රණ කඩදාසි සංචිතයක් පවත්වාගෙන යන බවත් ඇය කීවාය.

මුද්‍රණ කඩදාසි ප්‍රශ්නය සම්බන්ධයෙන් රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානී කල්පනා ලියනගේ මහත්මිය සහ   එහි ප්‍රධානීන්  අතර විශේෂ සාකච්ඡාවක් එම දෙපාර්තමේන්තුවේදී අද (14) පැවැත්විණ.