(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පොහොර තහනමට ගත් අමනෝඥ තීරණය නිසා තේ කර්මාන්තයට ප්‍රබල ප්‍රහාරයක් එල්ල වූ බව පිළිගන්නේ  යැයි වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී අද (16) පැවසීය.

එහෙත් තමා මේ දක්වා එය ප්‍රසිද්ධියේ පැවසීමට නොගියේ  කැබිනට් මණ්ඩලයේ සාමූහිකත්වය බිඳ වැටෙන නිසා යැයිද හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ තේ කර්මාන්තයේ ප්‍රශ්න සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27  (2) යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ගුණාත්මක තේ පැළ ලබා දීමේ වැඩපිළිවෙළක් ආරම්භ ඇතැයි පැවසූ අමාත්‍යවරයා  පසුගිය වසරේ දී පැළ තවාන් දාහක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ බවද සඳහන් කළේය.

එහි ප්‍රතිඵල රටට ලැබෙමින් තිබෙන බවද  ඔහු කීවේය.

තේ වගාව සඳහා යූරියා මෙට්‍රික් ටොන් 3,000 ක ප්‍රමාණයක් දැනටමත් බෙදා හැර ඇති බව පැවසූ පතිරණ මහතා ආනයන සමාගම් වලට පොහොර ආනයනය සඳහා  අනුමැතිය ලබාදී ඇති බවද ප්‍රකාශ කළේය.

පෞද්ගලික ආනයනකරුවන් කිහිප දෙනකුද රටට පොහොර ගෙන්වා ඇතැයි ඔහු පැවසුවේය.

මේ පොහොර තහනම කැබිනට් පත්‍රිකාව එන විට වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා විදිහට  පළමුවෙන් ම විරුද්ධ වූයේ තමා බවද රමේෂ් පතිරණ මහතා පැවැසීය.