(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැර ගොස් සමග ජන බලවේගය සමඟ සම්බන්ධවූ මන්ත්‍රීවරුන් හය දෙනා සම්බන්ධයෙන්  විනය ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමේ බලය පක්ෂයේ විනය මණ්ඩලයට ලබාදීමට එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය තීරණය කළේය.

මේ අතර පක්ෂයේ කැඳවුම්කරුවන් ලෙස කටයුතු කරන පිරිස් සඳහා ආසන සංවිධායක තනතුරු පිරිනැමීමටද මෙහිදී තීරණය කර ඇත.

මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ නව ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී  නාමල් රාජපක්ෂ මහතා විසිනි.

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ දිස්ත්‍රික් මට්ටමින් කාන්තා සංවිධායකවරියන් පත් කිරීමටද  එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය තීරණය කර ඇත

පක්ෂයේ දේශපාලන මණ්ඩලය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ කොළඹ විජේරාම මාවතේ  පිහිටි  නිල නිවසේදී ඊයේ(9) පස්වරුවේ රැස්විය. මෙම තීරණ ගෙන ඇත්තේ එම රැස්වීමේදීය.

පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා ඇතුළු දේශපාලන මණ්ඩල සාමාජිකයෝ රැසක්ද  මෙම රැස්වීමට සහභාගිවූහ.