(සමන් පාලිත නානායක්කාර)

පස්සර නමුනුකුල කන්ද පාමුල අද 20 අලුයම සිට විශාල නාය යාමක් සක්‍රිය වී ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

නමුණුකුල කන්ද පාමුල පස්සර ගෝනගල නැගෙනහිර වසමේ තේ පර්යේෂණ ආයතනය අසල මෙම නායාම සක්‍රිය වී තිබේ.

මෙම ස්ථානය මිනිස් වාසයකින් තොර ප්‍රදේශයක් බවද එබැවින් කිසිවකුට හෝ දේපළවලට හෝ හානියක් නොමැති බවද එම මධ්‍යස්ථානය පැවසීය.

වැසි නොමැති වුවද මෙම නාය යාම සක්‍රිය වී භූමියේ විශාල පැලුම් ඇතිවී ඒවා පුළුල්වෙමින් පවතින බවත් මේ වන විට පස් කොටස් පහළට රූරා එන බවත් පොලොව යටින් බොර දිය පහරවල් ගලමින් පවතින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

මේ සම්බන්ධයෙන් ඉදිරි පර්යේෂණ ක්‍රියාත්මක බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ එම් එල් උදය කුමාර මහතා පැවසීය.