(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ තුසිත ද සිල්වා)

බේරුවල පොදු වෙළෙඳ පොළේ කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයකු පාලනය කිරිම සඳහා ගිය පොලිස් සැරයන්වරයකුට එම පුද්ගලයා මන්නෙන් පහරදීමෙන් තුවාල ලබා ඇතැයි බේරුවල පොලිසිය කියයි.

මෙම සිද්ධියත් සමඟම සැරයන්වරයා රාජකාරි ගිනි අවියෙන්  අහසට වෙඩි තබා ඇතැයි පොලිසිය කියයි.

පුද්ගලයකු මන්නයක් රැගෙන පොදු වෙළඳපොල තුළ වෙළඳසැල්වලට පහර දෙමින් කලාහකාරී ලෙස හැසිරෙන බවට 119 පොලිස් නිලධාරීන්ට දැනගැනීමට ලැබීමත් සමගම එම ස්ථානයට ගොස් එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු විසින් මන්නා පහරක් සැරයන්වරයා වෙත එල්ල කර තිබූ බව පොලිසිය කියයි.

ඒ සමගම සැරයන්වරයා අත දරා සිටි රාජකාරිය ගිනි අවියෙන් අහසට වෙඩි තබා ඇතත් එම පුද්ගලයා පාලනය කිරීමට නොහැකි වී ඇති අතර නගරවාසීන් එක්ව එම පුද්ගලයා මෙල්ල කර පොලිසියට බාර කර තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

අත්අඩංගුවට ගත් සැකකරු මානසික ආබාධයෙන් පෙළෙන්නෙක් බවටද තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.