(ඩයනා උදයංගනී)

පාසල් සිසුන්ට දිවා ආහාරය ලබාදීමේ වැඩසටහන යටතේ තවත් සිසුන් ලක්‍ෂ 10කට පමණ දිවා ආහාරය ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

මේ වන විටත් මෙම වැඩසටහන යටතේ වාර්ෂිකව රුපියල් කෝටි 400ක වියදමින් පාසල් 7,926ක සිසු සිසුන් ලක්‍ෂ 10කට අධික සංඛ්‍යාවකට දිවා ආහාරය ලබාදීම සිදුකරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

විදේශීය ප්‍රදානයන් මගින් අවශ්‍ය අරමුදල් සලසා ගනිමින් මෙම වැඩසටහන තවදුරයත් ව්‍යාප්ත කර තවත් සිසුන් ලක්‍ෂ 10කට පමණ සම්පූර්ණ පෝෂ්‍යදායී දිවාආහාර වේලක් ලබාදීම සඳහා යෝග්‍ය පියවර ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිවූ බව ද ඇමතිවරයා කීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (4) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.