(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

වෙන්නප්පුව කොලොන් ජාඩිය ප්‍රදේශයේ පොල්වත්තක දී පොලිස් කොස්තාපල්වරයකුට අද සවස කඩුවකින් පහර දී බරපතළ තුවාල සිදුකර තවත් පොලිස් කොස්තාපල්වරයකුට  ද ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කළ බව කියන පුද්ගලයකුට එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් එම පුද්ගලයා මියගොස් ඇතැයි වෙන්නප්පුව මූලස්ථාන පොලිසිය පවසයි.

වෙඩි කා මියගිය පුද්ගලයා දිවයිනේ අපරාධකරුවන්ගේ ලයිස්තුවේ (IRC) සිටින පුද්ගලයකු යැයි පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

කඩු ප්‍රහාරයට ලක්වීමෙන් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

ඔහුගේ එක් අතකට සහ එක් ඇඟිල්ලකටකඩු පහර වැදී ඇති අතර එම ඇඟිල්ලේ කොටසක් කැපී වෙන් වී ගොස් ඇතැයිද පොලිසිය පවසයි.

සැකකරුගේ දණහිසෙන් පහළ ප්‍රදේශයට වෙඩි වැදී බව පෙනී යන්නේ යැයි ද පොලීසිය සඳහන් කරයි.

මෙසේ වෙඩි කා මිය ගොස් ඇත්තේ වෙන්නප්පුව කොලොං දහඩිය ප්‍රදේශයේම පදිංචිව පුද්ගගලයෙකි.

මාරවිල ,වෙන්නප්පුව, දන්කොටුව සහ කොස්වත්ත යන පොලිස් වසම්වල පසුගිය කාලයේ සිදුවූ රන්මාල කඩාගෙන යෑමේ සිද්ධීන් පහළොවකට පමණ මොහු අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි අයෙකි යයිද එම උසස් පොලිස් නිලධාරියා කීය.

මනුස්ස ඝාතනයක් සම්බන්ධයෙන් හලාවත මහාධිකරණයේ විභාග වන නඩුවකට නොසිටීම නිසා වරෙන්තු නිකුත් කර තිබූ අයෙක් බවද පොලිසිය පවසයි.