(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

මහ රෑ හොර රහසේ ගවයන් සොරාගෙන ලොරියකට පැටවීමේ යෙදී සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී සිදුවූ වෙඩි තැබීමකින් ගව හොරෙකු  තුවාල ලබා රෝහල්ගත කර ඇති බව නාල්ල පොලිසිය පවසයි.

අද 25 අලුයම 2.35 ට පමණ නාල්ල පොලිස් වසමේ ලෝලුවාගොඩ තලහේන හන්දිය අසලදී මෙම සිද්ධිය සිදුවී ඇත.

මෙම ප්‍රදේශයේ නිතර සිදුවන ගව සොරකම් මැඩ පැවැත්වීම සදහා පොලිසිය දිනපතාම පොලිස් මුර සංචාර ක්‍රියාත්මක කෙරෙන අතර ඒ අනුව නාල්ල පොලිස් ස්ථානයට අනුයුක්ත නිලධාරීන් තිදෙනකු ත්‍රීරෝද රථයකින් රාත්‍රී ජංගම සංචාරයේ නිරතව සිටියදී, තලහේන ගම්මානයට ඇතුළුවන මාර්ගය අසල සැකකටයුතු ලෙස නවතා තිබූ ලොරි රථයක් පරීක්ෂාවට ලක් කිරීමට කටයුතු කර ඇත.

එම අවස්ථාවේදී පුද්ගලයන් පස් දෙනෙකු ලොරි රථයකට ගවයන් පටවමින් සිටිනු පොලිස් පිරිස දැක ඇත.

පොලිස් නිලධාරීන් එම ස්ථානයට ළඟා වන අවස්ථාවේ ලොරි රථයේ සිටි පුද්ගලයකු පොලිස් නිලධාරීන්ට පහරදීමට උත්සාහ කර ඇති අතර, එහිදී තත්ත්වය පාලනය කිරීමට පොලිස් සැරයන් වරයකු රාජකාරි ගිනි අවියෙන් වෙඩි තැබීමක් සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කර ඇතැයි පොලිසිය කියයි.

පොලිසිය තැබූ වෙඩිල්ල එක් සැකකරුවකුට වැදීඇති අතර එසේ වෙඩි වැදුනු පුද්ගලයා කඳාන, වීදි මාවත පදිංචිකරුවෙකු බව හෙලිවී ඇත. ඔහුගේ වම් අතට වෙඩි පහර වැදී ඇති අතර, වෙඩි වැදුනු සැකකරු පොලිස් නිලධාරීන්  වහාම මීරිගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇත.