
(අංජුල මහික වීරරත්න)
සීමාසහිත ශ්‍රී ලංකා පාරිභෝගික සමූපකාර සමිති සංගමය (COOPFED) සහ ‘රිච්වින්’ (Richwin) සමූහ ව්‍යාපාරය ඒකාබද්ධව නිෂ්පාදනය කරනු ලබන “CoopFish” නව ටින් මාළු නිෂ්පාදන 28ක් නිල වශයෙන් වෙළෙඳපොළට හඳුන්වා දීම සීදූව Hotel Royal Ramesses පරිශ්‍රයේදී සිදු කෙරිණි.4
දේශීය ධීවර කර්මාන්තය, නිෂ්පාදන අංශය සහ සමූපකාර ව්‍යාපාරය එකට එක් කරමින් ජාතික ආර්ථිකයට නව වටිනාකමක් එක් කිරීමේ ඓතිහාසික පියවරක් ලෙස මෙම පියවර ගත් බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතාගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අවධාරණය කළේ පසුගිය කාලය තුළ අභාවයට යාමට ඉඩ හැර තිබූ සමූපකාර ව්‍යාපාරය, වත්මන් රජයේ ප්‍රතිපත්ති ප්රකාශනයට අනුව මෙරට ආර්ථිකයේ ශක්තිමත් කුළුණක් ලෙස යළි ගොඩනඟමින් සිටින බවයි. පෞද්ගලික අංශය සමඟ තරඟකාරී මිලකට පාරිභෝගිකයාට ගුණාත්මක භාණ්ඩ සැපයීම වෙනුවෙන් 2029 වසර වන විට දිවයින පුරා සමූපකාර අලෙවිසැල් 10,000ක් සහ නවීන ‘මෙගා කෝප් සිටි’ (Mega Coop City) 25ක් ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
දේශීය ටින් මාළු කර්මාන්තය ආරක්ෂා කිරීම සඳහා රජය විසින් දැනටමත් ආනයන සීමා පනවා ඇති අතර, වසරකට ටින් මාළු අමුද්‍රව්‍ය ආනයනය සඳහා වැය වන ඇමරිකානු ඩොලර් මිලියන 20ක විදේශ විනිමය මෙරට තුළ ඉතිරි කර ගැනීම රජයේ අරමුණ බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ සඳහා ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීමේ යාත්‍රා මිලදී ගැනීමට 5%ක සහන පොලියක් යටතේ එක් යාත්‍රාවකට රුපියල් මිලියන 500ක් දක්වා ණය පහසුකම් ලබා දීමටත්, ධීවර කර්මාන්තය අපනයනාභිමුඛ කර්මාන්තයක් ලෙස දියුණු කිරීමට රුපියල් බිලියන 15ක ප්‍රතිපාදන වෙන් කිරීමටත් රජය පියවර ගෙන ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd