(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ගර්භනී තත්වයේ පසුවන හෝ වයස අවුරුදු 2 ට වඩා අඩු දරුවන් සිටින පොලිස් නිලධාරිනියන්ට රාජකාරියට වාර්තා කිරීමකින් තොරව නිවසේ රැදී සිටීමට අවසර ලබාදීමට පොලිස්පතිවරයා තීරණය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 

නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙසේද පැවසීය.

''ඒ සම්බන්ධයෙන් විශේෂ උපදෙස් පත්‍රිකාවක් කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත නිකුත් කර තිබෙනවා. ඒ අනුව වයස අවුරුදු 2 වඩා අඩු  දරුවන් සිටින පොලිස් නිලධාරිනියන්  සහ  ගර්භණී තත්වයේ පසුවන පොලිස් නිලධාරිනියන් බස්නාහිර පළාත තුළ පදිංචිව හෝ බස්නාහිර පළාතේ යම් පොලිස්  ස්ථානයකට ,  කාර්යාලයකට අනුයුක්තව සිටිනවා නම් ඔවුන්ට,  හුදෙකලා කරන ලද වෙනත් ප්‍රදේශයක පදිංචි හෝ එම ප්‍රදේශයක පිහිටි පොලිස් ස්ථානයකට අනුයුක්ත  නම්  කාන්තා නිලධාරීන්ට මෙම සහනය ලැබෙනවා.

ඔවුන් පොලිස් ස්ථානය  වෙත රාජකාරි සඳහා වාර්තා කිරීම අවශ්‍ය වන්නේ නැහැ.ඔවුන්ට  නිවසේ රැදී සිටීමට පුලුවන්.

එලෙස රැඳී සිටියත් ඔවුන්ට ලැබීමට නියමිත වැටුප් දීමනා ඒ ආකාරයෙන්ම ලබාදීමට තීරණය කර තිබෙනවා ආයතන සංග්‍රහයේ  ඇති ප්‍රතිපාදන අනුව.

බස්නාහිර පළාත් තුළ කොවිඩ් ව්‍යාප්තිය දක්නට ලැබෙනවා.ඒවගේම හුදෙකලා කරන ලද ප්‍රදේශවලට කොවිඩ් ව්‍යාප්තිය දක්නට ලැබෙනවා.කාන්තා නිලධාරීන් යම් ආකාරයක  ආසාදිත තත්ත්වයට පත්වුවහොත්, විශේෂයෙන් ගර්භනී තත්වයේ සිටියදී ඒ වගේම කුඩා දරුවන් සම්බන්ධයෙන් සලකා බලා කාන්තා පොලිස් නිලධාරීනියන් සඳහා  මේ සහනය ලබාදීමට පොලිස්පතිතුමා තීරණය කර තිබෙනවා'' යයි  මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.