(අංජුල මහික වීරරත්න)

රිලව්, වඳුරන් හා දඬුලේනුන්  විසින් වසරකට පොල් ගෙඩි දස කෝටි හැත්තෑ ලක්ෂයක් (මිලියන 107ක්) විනාශ කරන බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහූණු ආයතනය විසින් කළ සමීක්ෂණ වාර්තාවක සඳහන් වේ.

වාර්ෂිකව මෙරට වගාවන්ට සතුන්ගෙන් සිදුවන හානි පිළිබඳ අංග සම්පුර්ණ සමීක්ෂණ වාර්තාවක් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහූණු ආයතනය විසින් කෘෂිකර්ම අමාත්‍යවරයාට බාර දී දුන්නේය.

භෝගවලට වැඩිපුරම හානිකරන්නේ සතුන් හය දෙනෙක් විසින් බව ද  අලියා, මොනරා, රිලවා, වඳුරා, වල් ඌරා හා දඩුලේනා ඒ අතර සිටින බව එම වාර්තාවේ සඳහන් වේ.

වනසතුන්ගෙන් සිදුවන වගා හානි නිසා වාර්ෂික අස්වැන්නෙන් සියයට 40ක් පමණ විනාශ වන බවත්  වගාව සඳහා බෝග වැපිරීමේ සිට අස්වැන්න නෙලා ගන්නා අවස්ථාව දක්වා වැඩිම විනාශයක් සිදු කරනු ලබන්නේ මොණරුන් විසින් බවත් අදාල සමීක්ෂණ වාර්තාව සඳහන් කරයි.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු ආයතනයේ අධි පර්යේෂක රේණුකා වීරක්කොඩි මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් සමීක්ෂණ කණ්ඩායමක් අදාල සමීක්ෂණය සිදුකර ඇත.