( සුජිත් හේවාජුලිගේ )

ජනාධිපති මන්දිරයේ  සම්පූර්ණයෙන්ම විනාශවී ඇති සහ හානිවී ඇති  සංස්කෘතික දේපළ මොනවා දැයි  තොරතුරු සටහන් කර ගැනීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් එම මන්දිරයට හෙට (27) යොමු කෙරෙන බව  සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂිකා  (බස්නාහිර පළාත්) ශ්‍යාමලී රාජපක්ෂ මහත්මිය ලංකාදීපයට පැවසුවාය.

පොලිසියෙන් කෙරුණු ඉල්ලීමක්  අනුව  ඒ සඳහා  කටයුතු කෙරෙන බවද ඇය සඳහන් කළාය.

ජනාධිපති මන්දිරයේ තිබූ සංස්කෘතික දේපළ සම්බන්ධයෙන් පැහැදිලි තොරතුරු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුව නොපවතින හෙයින් එම  මන්දිරයේ භාණ්ඩ ලැයිස්තුව පරික්ෂා  කර බලා  තොරතුරු සටහන් කර  ගැනීමට   බලාපොරොත්තු වන බව පැවසූ රාජපක්ෂ මහත්මිය  ඉදිරි විමර්ශන සඳහා එම තොරතුරු  බෙහෙවින් උපකාරී  වනු ඇතැයිද  සඳහන් කළාය.

කොළඹ ජනාධිපති මන්දිරය ඇතුළු ප්‍රධාන ගොඩනැගිලි  හතරක් අරගල කරුවන් විසින් පසුගියදා අත්පත් කරගනු ලැබීය. මෙම ගොඩනැගිලි වලට හානි සිදුවූයේ ඉන් අනතුරුවය.

ජනාධිපති ලේකම් කාර්යාලය අරලියගහ මන්දිරය සහ අගමැති කාර්යාලය හානි සිදුවූ සෙසු ගොඩනැගිලි වේ.

එම ගොඩනැඟිලිද පුරාවිද්‍යා නිලධාරීන්ගේ විශේෂ පරීක්ෂාවට පසුගියදා ලක්විය.

මේ අතර හානි සිදුවූ යම් යම් සංස්කෘතික දේපළ  නැවත ප්‍රතිනිර්මාණය කිරීමේ හැකියාව සම්බන්ධයෙන්ද කරුණු සොයා බලන බව  පුරාවිද්‍යා නිලධාරීහු පවසති.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතාගේ උපදෙස් මත සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂිකා (බස්නාහිර පළාත්) ශ්‍යාමලී  රාජපක්ෂ මහත්මිය ඇතුළු නිලධාරීහු කණ්ඩායමක්  පුරා විද්‍යා නිරීක්ෂණ කටයුතුවල නියැලී සිටිති.

මෙයට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු කණ්ඩායමක්ද මේ සම්බන්ධයෙන් විමර්ශන  පවත්වති.