(යොහාන් භාසුර)

රජයේ රෝහල්වල සේවය කරන ලියාපදිංචි වෛද්‍යවරු 350 කට ආසන්න සංඛ්‍යාවක් ලබන ජූනි මස එකවර විශ්‍රාම යෑම හේතුවෙන් ග්‍රාමීය රෝහල් රැසක් වැසී යෑමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

ලියාපදිංචි වෛද්‍යවරු 350 ක් පමණ එකවර විශ්‍රාම ලැබුවහොත් අවම වශයෙන් ග්‍රාමීය රෝහල් 50 ක් පමණ වසා දැමීමට සිදුවන බව කී එම නිලධාරියා දුෂ්කර ප්‍රදේශ ඇතුළු රට පුරා ග්‍රාමීය රෝහල්වල ලියාපදිංචි වෛද්‍යවරු 650 ක් පමණ සේවය කරන බව ද සදඟන් කළේය.

ලියාපදිංචි වෛද්‍යවරු 350 ක්, උපාධිධාරී වෛද්‍ය නිලධාරීන් 400 ක්, විශේෂඥා වෛද්‍යවරු 300 ක් සහ දන්ත වෛද්‍යවරු 50 ක් පමණ ඇතුළු සමස්ත වෛද්‍යවරු 1000 කට අධික සංඛ්‍යාවක් මෙම වසරේ දෙසැම්බර් වන විට විශ්‍රාම ගැන්වීමට නියමිත බවත් එම වෛද්‍යවරු අතර ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරු 500 කට අධික සංඛ්‍යාවක් සිටීමෙන් රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කොදුනාරටිය බිඳවැටෙන බවත් එම නිලධාරියා කීය.

චක්‍ර ලේඛයක් හරහා ලබන ජූනි 30 සහ දෙසැම්බර් 31 අදාල වෛද්‍යවරු එකවර විශ්‍රාම ගැනීමට නියමිතව තිබීමෙන් රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය දැඩි අර්බුදයකට පත්වීම වැලැක්විය නොහැකි බව කී එම නිලධාරියා සඳහන් කළේ ග්‍රාමීය රෝහල්වල මේ වන විට සේවය කරන ඇතැම් වෛද්‍යවරු දිනකට බාහිර රෝගී 300 කට අධික සංඛ්‍යාවක් පරීක්‍ෂා කරන බවත්ය.

ලියාපදිංචි වෛද්‍යවරු 350 ක් පමණ විශ්‍රාම ගැන්වීමෙන් ග්‍රාමීය රෝහල් රැසක බාහිර රෝගී අංශ වසාදැමීම වැලැක්විය නොහැකි බවත් ඒ හේතුවෙන් පහසුකම් නොමැති දුෂ්කර ප්‍රදේශවල ජනතාවට අපහසුතාවට පත්වීමට සිදුවිය හැකි බවත් සඳහන් කරයි.

මෙම තත්වය පිළිබඳව කළ විමසුමකදී ජ්‍යෙෂ්ඨ ලියාපදිංචි වෛද්‍යවරයෙක් පැවසුවේ පොළොන්නරුව ඇතුළු දුෂ්කර ප්‍රදේශ රැසක රෝහල්වල මේ වන විටත් ප්‍රසව හා නාරීවේද වෛද්‍යවරු ඇතුළු විශේෂඥා වෛද්‍යවරු නොමැති තත්වයක් උද්ගතව ඇති බවත් බෙහෙත් හිඟය හේතුවෙන් ග්‍රාමීය රෝහල්වල වෛද්‍යවරුන්ට බෙහෙත් තුන්ඩු දෙකක් ලිවීමට සිදුව ඇති බවත්ය. මෙම වසරේ සීමාවාසික පුහුණු 1600 ක් බඳවා ගැනීමට නියමිතව තිබුණ ද 1400 ක් පමණක් අයදුම් කර තිබූ බව කී එම ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයා එම පිරිසෙන් ද වෛද්‍යවරු 300 ක් මේ දක්වා පත්වීම් භාරගෙන නොමැති බව ද සඳහන් කළේය.

ලබන ජනවාරි මස තෙක් පශ්චාත් සීමාවාසික වෛද්‍යවරු පත්කිරීමේ අවස්ථාවක් නොමැති බවත් මෙම තත්වය හමුවේ රටපුරා ප්‍රාදේශීය රෝහල් 500 කට අධික සංඛ්‍යවක් දැඩි අවදානමකට පත්වන බවත් ඔහු කීය.

ඩෙංගු පැතිර යෑම නිසා වර්තමානයේ දෛනික රෝගීන් සංඛ්‍යාව තෙගුණ වීමෙන් රටේ සෞඛ්‍ය පද්ධතිය දැඩි අර්බුදයකට පත්ව තිබෙන අවස්ථාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා වෛද්‍යවරුන්ගේ ගැටලුවට ස්ථිර විසඳුමක් දිය යුතු බව ද එම වෛද්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

වෛද්‍යවරුන්ගේ ගැටලුව පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක්ගෙන් කළ විමසුමකදී පැවසුවේ එම ගැටලුව පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් සාකච්ඡා කරමින් සිටින බවත් වෛද්‍යවරු කොන්ත්‍රාත් ක්‍රමයට නැවත සේවයට ගැනීමට සැළසුම් කර ඇති බවත්ය.