(නිමල කොඩිතුවක්කු)

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට අද ඇත්තේ රාජ්‍ය ප්‍රචණ්ඩත්වය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.

රටේ ජනතාව කරනු ලැබූ ප්‍රජාතන්ත්‍රවාදී අරගලයට මුල්ම ප්‍රහාරය පහුගිය මැයි මාස නව වෙනිදා රාජ්‍ය ප්‍රචණ්ඩත්වය දියත් කරමින් එල්ල කළ බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

දේශපාලන පක්ෂ නායකයින්, පාර්ලිමේන්තු මහජන නියෝජිතයින් සහ වෘත්තිකයින් පිරිසකගේ සහභාගිත්වයෙන් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවති ජාතික ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ විශේෂ හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

අද වන විට රාජ්‍ය ප්‍රචණ්ඩත්වය බරපතළ ලෙස  ක්‍රියාත්මක වන බවත් අලුත් ගමනක් වෙනුවට ඇත්තේ පරණ ප්‍රචණ්ඩ ගමනම බවත් හෙතෙම පැවසීය.

හැටනව ලක්ෂයක බහුතරයකින් රටේ පාලකයා බවට පත්වූ ජනාධිපති වරයෙකු මහජන අරගලයක් විසින් රටෙනුත් නෙරපා හැරි තත්ත්වයක් තුළ කිසිවක් කොට අත්තනෝමතික ලෙස හැසිරෙනු නොහැකි බව ද විපක්ෂ නායකවරයා කීවේය.

පත්කරගත් ඒකාධිපතිත්වයකට රටේ ප්‍රජාතන්ත්‍රවාදය වනසා මිලේච්ඡත්වය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදිය යුතුබවත් පාලකයින් එකමුතු බවේත් සාධාරණත්වයේත් ආදර්ශය ලබා දියයුතු බවත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන එම්. ඒ. සුමන්තිරන්, රාජිත සේනාරත්න, තිස්ස අත්තනායක,  පී දිගම්බරම්, හර්ෂ ද සිල්වා, ඩිලාන් පෙරේරා, මුජිබර් රහුමාන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.