(අංජුල මහික වීරරත්න)
 
එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් ඇරඹීමට නියමිත ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ පිහිටුවීම දින කිහිපයකින් කල් දැමීමට එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයෝ තීරණය කළහ.
 
එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලිය ගහ මන්දිරයේදි පැවැත්වූ රැස්වීමකදී සියලුම පක්ෂ නායකයින් එක්ව මෙම තීරණය ගත් බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ලංකාදීපයට පැවසීය.
 
ඉදිරි ජනාධිපතිවරණයට මුහුණ දීම සඳහා වූ පෙරමුණක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ හෙට (05) පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය ඉකුත්  බ්‍රහස්පතින්දා (01) තීරණය කළේය.
 
ඉන් අනතුරුව නව පෙරමුණ පිහිටුවීම සම්බන්ධයෙන් ඊට සම්බන්ධ වීමට නියමිත විවිධ පාර්ශ්වවලින් අදහස් ඉදිරිපත් වූ අතර අවසන් තීරණයකට එළැඹීම සඳහා සියලුම පක්ෂ නායකයෝ ඊයේ රාත්‍රියේ අරලිය ගහ මන්දිරයේදී රැස් වූහ.
 
සියලු පාර්ශ්වවල අලුත්  අදහස් ලබා ගෙන සියලු පාර්ශ්වවල එකමුතුකම ආරක්ෂා කර ගනිමින් නව සන්ධානය පිහිටුවීම සඳහා ඉදිරි දිනයක් තීරණය කර ගැනීමට සියලුම පක්ෂ නායකයින් ඒකමතික එකඟතාවයකට පැමිණි බවද එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. ඒ අනුව සන්ධානය පිහිටුවන දිනය ළඟදීම හෙළිදරව් කරන බවද මහලේකම්වරයා වැඩිදුරටත්  කීය. 
 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ජාවට ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණට එක් වීමට නියමිත රවුෆ් හකීම්, රිෂාඩ් බද්දුයිදීන්, මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, රාජිත සේනාරත්න, පාඨලී චම්පික අමාත්‍යවරුන් ප්‍රමුඛ පක්ෂ නායකයින් සහභාගි වී තිබේ.