(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ රංජිත් කරුණාවීර)

පෙම් පළහිලව්වක් මත බව කියමින් මොරයාය සංඝබෝධි විද්‍යාලය ඉදිරිපිට දී අද උදෑසන 6.45 පමණ 16 හැවිරිදි පාසල් සිසුවියකට පිහියකින් ඇන බරපතළ තුවාල සිදු කළේ යැයි කියන ඇගේ පෙම්වතා බවට හැඳින්වෙන 24 හැවිරිදි තරුණයකු හසලක පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

තුවාල ලැබූ පාසල් සිසුවිය මහියංගනය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් පසු වන බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මෙම සිසුවිය මුහුණු පොතෙන් මෙම සැකකාර තරුණයා අඳුනාගෙන ඔහු සමග වසරකට වැඩි කාලයක් තිස්සේ සිට ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු හෙළිවී ඇතැයි පොලිසිය පවසයි.

මුහුණු පොතෙන් හඳුනාගත් මෙම තරුණයා සමඟ කරගෙන තියෙන ප්‍රේම සම්බන්ධතාවය මෑතකදී ඇය නතර කර දමා ඇති බවට ද තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.

ප්‍රේම සම්බන්ධතාවය අතරමග නතර කිරීම නිසා සැකකරු මෙවැන්නක් කර ඇති බවපොලිස් පරීක්ෂණවලින් පෙනී ගොස් ඇතැයි කියති.