(නිමල කොඩිතුවක්කු)

පාන් මිල අඩු කිරීමට බේකරි නිෂ්පාදකයින්ට සතියක කාලයක් ලබා දීමට කටයුතු කරන බව වෙළඳ, වාණිජ සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

ඉන්පසුවත් මිල අඩු නොකරන්නේ නම් නීතිමය කටයුතු සිදු කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

රුපියල් 10.00 කින් පාන් මිල අඩු කිරීමට බේකරි නිෂ්පාදකයින් එකඟ වී ඇති බැවින් එම සහනය පාරිභෝගිකයන්ට ලබාදිමට ඔවුන් කටයුතු කළ යුතු බවත් කොලඹදී පැවති මාධ්‍ය හමුවකදී නලීන් ප්‍රනාන්දු මහතා කීවේය.

නිෂ්පාදකයින්ට සහන ලබා දී තිබෙන අවස්ථාවක එම සහනය පාරිභෝගිකයාට නොලැබෙන්නේ නම් දිගින් දිගටම රජයට මැදිහත් වීමට සිදු වන බවත් ඔහු සඳහන් කළේය.

වෙළඳපොල තුළ පාන් ගෙඩියක තිබිය යුතු වන ග්‍රෑම් 450 බර ප්‍රමාණය අනිවාර්යෙන් තිබිය යුතු බවත් එසේ නොකරන බේකරි නිෂ්පාදකයින් වැටලීම් කිරීමට පාරිභෝගික අධිකාරියට උපදෙස් ලබා දී තිබෙන බවත් අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.